යුක්රේනයට පහරදීම වහාම නවත්වන්න



යුක්රේනයට පහරදීම වහා නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට දන්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ජගත් මහ ලේකම්වරයා රුසියන් ජනාධිපතිවරයාගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් බවය.

‘පුටින් ජනාධිපතිතුමනි, යුක්රේනයට පහර දීම නවත්වන්න. සාමයට ඉඩ දෙන්න. ලේ වැගිරීමක් කරන්න එපා.’ යනුවෙන් ජගත් මහ ලේකම්වරයා රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.

යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින්, යුක්රේනය තුළ ‘විශේෂ හමුදා මෙහෙයුමක්’ ආරම්භ කරනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ අද (24) උදෑසනය. එය මුළු ලොවට මවිතයට පත් කළ සිදුවීමක් වූයේ, ජනපති පුටින් යුක්රේනය ආක්‍රමණය නොකරන බව දිගින් දිගටම පැවැසූ බැවිනි.

යුක්රේන රජයට එරෙහිව සටන් කිරීමට තමන්ට හමුදා සහාය ලබා දෙන්නැයි නැගෙනහිර යුක්රේනයේ රුසියන් හිතවාදී සන්නද්ධ කැරැලිකරුවන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීන් පුටින් ඇතුළු රුසියානු රජයෙන් ඉල්ලා සිටියේ ඊයේ (23) ය.

යුක්රේන රජය සහ හමුදාවට එරෙහිව සටන් කිරීමට සහාය ඉල්ලා ඇත්තේ ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් නගර අයත් පළාත් නියෝජනය කරන බෙදුම්වාදී කැරැලි නායකයන්ය. ඔවුන් එසේ කර ඇත්තේ වෙන් වෙන්ව රුසියන් රජයට ලිපි යමවින් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. රුසියන් හමුදා, යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS