යුක්රේනයට අලුතින් පහර දෙන්නේ නෑ: සාමයට සූදානම්



දිගින් දිගටම පහර දෙමින් යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේනයට අලුතින් කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවත්, සාම සාකච්ඡා සඳහා යොමු වීමට බලාපොරොත්තු වන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාපධිති පුටින් මෙසේ පැවැසුවේ, කසක්ස්තානයේ අස්තානා නුවර පැවැත්වුණු ‘ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටිමිනි.
තමන් යුක්රේනය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත්, ඊට නිසි ජාත්‍යන්තර මැදහත් වීමක් අවශ්‍ය බවත් රුසියන් ජනාධිපති පුටින් එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා යුක්රේනයේ සිටින රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු එරට නගර කීපයකට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මෙම ප්‍රහාරය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට හේතුවක් විය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියන් හමුදා කීව් අගනුවර මධ්‍යයට මෙලෙස රොකට් ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය විය.

මේ අතර, රුසියන් යුක්රේන අර්බුදය තවත් උත්සන්න වී, ‘නේටෝ’ හමුදා රුසියාව සමඟ ගැටුණොත් එය මහා ව්‍යසනයකනට මඟ පෑදෙනු ඇති බවත්, න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත්  අස්තානා අගනුවර මාධ්‍යවේදීන් හමුවේ රුසියන් ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කළේය.

‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණ ඇතිවය. රුසියාව, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ, යුක්රේනය ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

(රොයිටර්)


RECOMMEND POSTS