යුක්රේන හමුදා පොකුරු බෝම්බවලින් පහර දෙයි



ඇමෙරිකාවෙන් ලැබුණු ‘පොකුරු බෝම්බ’ නිසි ලෙස භාවිතයට ගනිමින්, යුක්රේන හමුදාව, රුසියන් හමුදාවට පහර දීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තමන් ලබා දුන් ‘පොකුරු බෝම්බ’ යුක්රේන හමුදාව ඉතා ඵලදායී ආකාරයට යොදා ගන්නා බව ධවල මන්දිර ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ජොන් කර්බි මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

‘අප යුක්රේන හමුදාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටිනවා. ඔවුන් පොකුරු බෝම්බ භාවිතයට ගනිමින් ක්‍රමාණුකූලව පහර දීම් කරනවා. රුසියන් හමුදා අඩපණ කිරීමයි අරමුණ’ යැයි ජොන් කර්බි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

සිදුවන විනාශය අතිමහත් වන බැවින්, පොකුරු බෝම්බ භාවිතය රටවල් 120 ක් නවත්වා දමා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව සහ යුක්රේනය විශ්වාස කරන අන්දමට, යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා අඩපණ කිරීමට හැකි ක්‍රමයක් වන්නේ පොකුරු බෝම්බ භාවිතයයි.


RECOMMEND POSTS