යුක්රේන නගරයක් අතහැර රුසියන් හමුදා ඉවත් වෙයි



රුසියන් හමුදා, ඔවුන් විසින් අල්ලා ගනු ලැබ සිටි යුක්රේනයේ ලිමාන් නගරය අතහැර ගිය බවත්, එය යුක්රේන යුද්ධයේ දී රුසියාව ලැබූ දැඩි පසුබැසීමක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

තම හමුදා ලිමාන් නගරය අතහැර ගිය බව රුසියන් ආරක්ෂක අමත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. රුසියන් හමුදා නගරය අතහැර ගියේ යුක්රේන හමුදා හතර වටින් ලිමාන් නගරය වට කළ අවස්ථාවේදී යැයි ද රුසියන් ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

යුක්රේන රජය පැවැසුවේ, මාස කීපයක් තිස්සේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති ලිමාන් නගරය යළි තමන් සතු කර ගැනීමට හැකිවීම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවය. රුසියානු හමුදාව ඔවුන්ගේ කටයුතු සඳහා සියලු කටයුතු සම්පාදනය කිරීමටත්, කාර්ය සංවිධානය කිරීමටත් යොදා ගත්තේ ලයිමාන් නමැති මෙම නගරය යැයි ද පැවැසෙයි.

මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් යන නගර සහ එම නගර අයත් පළාත් නිල වශයෙන් රුසියාවට එක් කර ගැනීම සිදු කර අවසන්ය.

රුසියන් හමුදා මෙම නගර සහ ඒවා අයත් පළාත් අත්පත් කර ගැනීම සිදු කළේ එම පළාත්වල ක්‍රියාත්මක යුක්රේන රජයට එරෙහිව අවි අතට ගත් රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් සඳහා පිවිසීම සිදුවූයේ ලයිමාන් නගරය හරහාය. ලයිමාන් නගරය ඇත්තේ ඩොනෙස්ක්ස් පළාතේ යැයි යුක්රේන මාධ්‍ය පැහැදිලි කර තිබේ.

ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් පමණක් නොව, දකුණුදිග යුක්රේනයේ සැපොරේෂියා සහ කර්සෝන් යන නගර අයත් පළාත් ද මේ වනවිට රුසියාව විසින් එරටට ඈඳා ගෙන තිබේ. යුරෝපා කලාපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ සැපොරේෂියා පළාතේය. එම බලාගාරයේ ප්‍රධානියා රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන බව ද වාර්තා වේ.

ලුහාන්ස්ක්, ඩොනෙස්ක්ස්, සැපොරේෂියා සහ කර්සෝන් රුසියාවට ඈඳා ගැනීම නිල වශයෙන් සිදුවූයේ පසුගිය සිකුරාදා (30) දිනයේය. ඒ, එම පළාත්වල ජනමත විමසුම් ද පැවැත්වීමෙන් අනතුරුවය.

යටත් කරගත් යුක්රේන පාළාත් රුසියාවට ඈඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී, රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී, රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය.

රුසියාවට නිෂේධ බලය හිමිවී ඇත්තේ රුසියාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් කෙනෙකු බැවිනි. කෙසේ වුවත් ඉන්දියාව සහ චීනය රුසියාවට සහාය පළ නොකළ අතර ඔවුන් ඡනදය ප්‍රකාශ කිරිමෙන් වැළැකී සිටියේය. රුසියාව, යුක්රේනයේ පළාත් අත්පත් කර ගැනීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවුණු විශාලතම ආක්‍රමණය යැයි ද පැවැසෙයි. ඒ අනුව, මේ වනවිට යුක්රේනයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් ඇත්තේ රුසියාව සතුව යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS