යුක්රේන ජනාධිපති ඇමෙරිකාවේ සංචාරයක

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලෙයි. රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්රියා මාර්ගයෙන් පසු ජනාධිපති සෙලෙන්කී විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි.
සෙලෙන්ස්කී ඇමෙරිකාවට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔහු පළමුවෙන් ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවිය. ඉන්පසු සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්රසය (පාර්ලිමේන්තුව) ආමන්ත්රණය කළේය.
ජනාධිපති සෙලෙන්ස්කී සජීවීව ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ආමන්ත්රණය කළ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර, රුසියාව යුක්රේනය ආක්රමණය කිරීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්රසය ආමන්ත්රණය කර තිබේ. ඒ, යුක්රේනයේ කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
විශේෂ ආරක්ෂාවක් යටතේ ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් කටයුතු කළ බව පැවැසෙයි.
රුසියන් ආක්රමණය හමුවේ ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට ස්තුති කළා පමණක් නොව, යුක්රේනය වෙනුවෙන් වීර පදක්කමක් ද බයිඩන්ට පිරිනැමීමට සෙලෙන්ස්කී කටයුතු කළේය.
කිසිම අවස්ථාවක රුසියාවට යටත් නොවන බව බයිඩන් හමුවේ සෙලෙන්ස්කී අවධාරණය කළේය. කෙසේ නමුත්, රුසියන් යුක්රේන සාම වැඩපිළිවෙළක් කෙසේ විය යුතුදැයි පැහැදිලි කරමින් කරුණු 10 ක සාම සැලැස්මක් ගැන ද දෙදෙනා අතරේ සාකච්ඡා විය.
ඇමෙරිකන් කොංග්රසය ආමන්ත්රණය කිරීමට ජනාධිපති සෙලෙන්ස්කී ගිය අවස්ථාවේදී ද ඔහුට උණුසුම් පිළිගැනීමක් හිටිවිය. ඩිමොක්රටික් මෙන්ම රිපබ්ලිකන් මන්ත්රීවරුන් ද සෙලෙන්ස්කී වටකර ගත් බව පැවැසෙයි.
රුසියන් ආක්රමණය හමුවේ, ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේන රජයයට සහ හමුදාවට ආධාර දීම සම්බන්ධයෙන් ජනාධිපති සෙලෙන්ස්කී කොංග්රස් මණ්ඩලය අමතමින් ස්තුති කළේය. ඇමෙරිකාවෙන් තමන්ට ලැබෙන ආධාර, යුක්රේනයේ යහපත වෙනුවෙන් නොව, ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් ද වැදගත් බව සෙලෙන්ස්කී එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
යුක්රේනයට ආධාර ලබා දීම ඇමෙරිකාව කරන ආයෝජනයක් බව ද ජනාධිපතිවරයා පැවැසුවේය. ඇමෙරිකාව පමණක් නොව, යුරෝපා රටවල් බොහොමයක් යුක්රේනයට ආධාර ලබා දෙයි. ලෝකය දිනා ගැනීමේ සටනින් රුසියාව පරාජයට පත් වී ඇතැයි ද ජනාධිපති සෙලෙක්ස්කී කොංග්රස් මණ්ඩලය හමුවේ අවධාරණය කළේය.
ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට ආධාර දීම ඇමෙරිකාවේ ප්රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ අප්රසාදයට හේතුවක් වී ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්කී කොංග්රස් මණ්ඩලය ඇමැතුවේ යුක්රේනයට ලබා දෙන ආධාර සම්බන්ධයෙන් සාධාරණීකරණයක් ද කරමිණි.
(ඒ.එෆ්.පී.)

