යුක්රේන ජනපති සමඟ බයිඩන්ට කේන්ති ගිහිල්ලා



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ දුරකතන කතාබහක් අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කෝපයට පත් වුණු බව එරට මාධ්‍ය අනාවරණය කළේය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කෝපයට පත් වී ඇත්තේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී තව තවත් ඇමෙරිකාවෙන් යුද ආධාර ඉල්ලා සිටි බැවින් යැයි ඇමෙරිකාවේ එන්.බී.සී. පුවත් නාළිකාව පැහැදිලි කර තිබේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතරේ මෙම දුරකතන සංවාදය පැවැත්වූ බව පැවැසෙන්නේ පසුගිය ජූනි 15 වැනිදාය.

රුසියානු ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

ඒ, යුක්රේනය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සමීප වෙමින්, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංධානයයි.

රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළ අවස්ථාවේ පටන් යුක්රේන හමුදාවට යුද ආධාර මෙන්ම යුක්රේන රජයට මානුෂීය ආධාර ලබා දීමට බයිඩන් පරිපාලනය කටයුතු කළ අතර, බයිඩන් යුක්රේනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සියලු යෝජනාවලට ‘කොංග්‍රසයේ’ (ඇමෙරිකන් පාරිලිමේන්තුව) අනුමැතිය හිමිවිය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, රුසියන් හමුදා ප්‍රහාරවලට මුහුණ දීමට යුක්රේන හමුදාවට ලබා දී ඇති යුද ආධාර ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 18.5 ඉක්මවයි.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට, පසුගිය ජූනි 15 වැනිදා, ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිට දුරකතන ඇමැතුමක් දී ඇත්තේ, තවත් බිලියනයක ආධාර යුක්රේනයට ලබා දෙන බව පැවැසීමටය. කෙසේ නමුත් දුරකතන ඇමතුම ආරම්භ වූ අවස්ථාවේ පටන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම බයිඩන්ගෙන් තව තවත ආධාර ඉල්ලා තිබේ. බයිඩන්ට කේන්ති ගොස් ඇත්තේ මේ නිසාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS