යුක්රේන ජනපති බයිඩන් හමුවෙයි



යුද ආධාර අපේක්ෂාවෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

රුසියන් ආක්‍රමණය හමුවේ, බයිඩන් පරිපාලනය, යුක්රේනයට යුද ආධාර ලබා දෙයි. මුදල් ආධාර සහ අවි ආයුධ ඊට ඇතුළත්ය. පසුගියදා යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කළ අතර, එම යෝජනාව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එසේ වුවත්, කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිනොවිණි. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කළ බැවිනි.

යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට, බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දීමට තීරණය කළ එම මුදල් ආධාර වහා යුක්රේනයට ලබා දෙන්නැයි ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයෙන් ආයාචනා කිරීමටය.

යුක්රේනය සටන් කරන්නේ තම නිදහස සඳහා පමණක් නොව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බවත්, යුක්රේනයට එම මුදල් ආධාර අවශ්‍ය බවත් ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබුණි. යුක්රේන ජනාධිපතිවරයා, ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල නව කතා නායක මයික් ජොන්සන් හමුවී සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටියේය.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය.
යුක්රේනයට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 60 ක මුදලට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි නොවුණේ එබැවිනි. යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, ඇමෙරිකන් රිපබ්ලිකන්වරුන්ට චෝදනා නගා ඇත්තේ ඔවුන් රුසියන් ජනාධිපති පුටින්ගේ නියෝජිතයන් බව කියමිනි.

ඩොලර් බිලියන 60 ක මුදල යුක්රේනයට ලබා දීමට රිපබ්ලිකන්වරුන් විරෝධය දක්වා ඇත්තේ, බයිඩන් පරිපාලනය සම්බන්ධයෙන් ඇති මත ගැටුම් නිසාය.


RECOMMEND POSTS