යුක්රේන ගමන කල් දමයි

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ යුක්රේනය බලා යෑමට සූදානමින් සිටි නමුත්, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය හේතුවෙන් එම සංචාරය කල්දැමීමට තීරණය කර ඇත.
ඉරාක රජයට එරෙහිව විරෝධතාකරුවන් ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදුණේ පසුගිය 31 වැනිදාය. එම සිදුවීමෙන් පසු, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අමතර ඇමෙරිකන් සොල්දාදුවන් 750 ක බළඇණියක් මැදපෙරදිගට යවා ඇත. ඒ, ඉරානය සමඟ යුද්ධයකට පැටලුණොත්, ඊට මුහුණදීම සඳහාය.
ඊට අමතරව, තවත් ඇමෙරිකන් සොල්ලාදුවන් 100 ක පිරිසක් බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යවා ඇතැයි ද වාර්තා වේ. ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරාකයේ විරෝධතාකරුවන්ට ඉරානයේ අනුග්‍රහය හිමිවන බවය.
යුක්රේනය සහ ඇමෙරිකාව මුල්කොට ගනිමින් ද අර්බුදයක් පවතී. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගයට මුල් වූයේ ද ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්න්කී අතරේ පැවැති දුරකතන හමුවකි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් යුක්රේනයේ පමණක් නොව, බෙලරූසය, කසක්ස්තානය, උස්බෙකිස්තානය සහ සයිප්‍රසයේ සංචාරය කිරීමට සූදානමින් සිටියේය. අවලංගු කළ එම සංචාරය කඩිනමින් යළි ආරම්භ කරන බව මයික් පොම්පේඕ, ධවල මන්දිරයේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

