යානයේ සිටි 20 දෙනකුගේ සිරුරු හමුවෙයි

කඩා වැටුණු නේපාල ගුවන් යානයේ සිටි මගීන් විසි දෙදෙනාගෙන් 20 දෙනකුගේ සිරුරු සොයා ගැනීමට සමත් වී ඇතැයි පැවැසෙයි.
කුඩා සැහැල්ලු ගුවන් යානයක් වන මෙම යානය අනතුරට පත් වී කඩා වැටුණේ පෙරේදා (29) ය. යානය නේපාලයේ ‘ටාරා එයාර්‘ පුද්ගලික ගුවන් සේවයට අයත් යානයකි.
යානයේ සිටි විසි දෙදෙනා අතරේ ඉන්දීය ජාතිකයන් සිවු දෙනකු සිටින බව නේපාල මෙන්ම ඉන්දීය රජය ද සනාථ කර තිබේ. යානය නේපාලයේ පොඛාරා නුවර සිට ජොම්සොම් නුවර තෙක් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි.
ඉන්දියානුවන් සිවු දෙනාට අමතරව, නේපාල ජාතිකයන් 13 දෙනකු, ජර්මානු ජාතිකයන් දෙදෙනක සිටි බව පැවැසෙයි. නියමුවන්ට අමතරව කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු යානයේ සිට ඇත.
යානය පෙරේදා (29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නුවරින් ගමන් ආරම්භ කළේය. යානය සහ ගුවන් තොටුපොල පාලක මැදිරිය සමග පැවැති සබඳතාව ඇණහිටියේ යානය පියසැරිය අරඹා විනාඩි 20 ක් යද්දීය.
අතුරුදන් වූ ‘ටාරා එයාර්‘ ගුවන් යානයේ සුන්බුන් උතුරු නේපාලයේ මස්ටෑන්ග් දිස්ත්රික්කයෙන් හමුවී තිබේ. යානයේ අනතුර සම්බන්ධයෙන් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී.
(එන්.ඩී.ටීවී.)

