යළිත් චීන ජනපති හමුවෙලා

දකුණු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වන උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය 7 සහ 8 දෙදිනඋතුරුදිග චීනයේ දලියාන් නගරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීය.
දලියාන් නගරය පිහිටා ඇත්තේ උතුරු කොරියා චීන දේශසීමාවේය. උතුරු කොරියා නායකයා සහ චීන ජනාධිපති අතර උතුරු සහ දකුණු කොරියා සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරියේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ හමුවක් පැවැත්වෙයි. එය පැවැත්වෙනු ඇත්තේ උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යැයි ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. ඒ, උතුරු සහ දකුණු කොරියා සාම සාකච්ඡාවල දිගුවක් ලෙසිනි.
පැවැත්වීමට නියමිත මෙම හමුව සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද පැවැසෙයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන මුල් කොට ගනිමින්, ජාත්‍යන්තරයෙන් උතුරු කොරියාවට සම්බාධක එල්ල වෙද්දී, උතුරු කොරියාවේ එකම මිතුරා වූයේ චීනයයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල කටයුතුවලදී සහාය ලබා දුන්නේ ද චීනයයි. චීනය සහ උතුරු කොරියාව අතර ශක්තිමත් මිතුදම් පවතී.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ සාම සමුළුව ඇරැඹීමට පෙර, පසුගිය මාර්තු මාසයේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් විශේෂ දුම්රියකින් දේශසීමා හරහා චීනයේ බීජිං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය.
උතුරු කොරියා නායකයා සහ චීන ජනාධිපති අතර පසුගිය 7 සහ 8 දෙදින පැවැති හමුව සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සතුට පළ කර ඇත. චීන ජනාධිපති තම මිතුරා ලෙස ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සළකයි. උතුරු කොරියා නායකයා සාම මාවතට ගෙන ඒමට චීන ජනාධිපති ෂී ජින්පින්ට උපදෙස් ලබා දුන්නේ තමන් යැයි ට්‍රම්ප් ආඩම්බරයෙන් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)

