මෝදි කැනඩා අගමැති ටෲඩෝ එක්ක තරහා වෙලා



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හොඳ හිත පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ හොඳ හිත පළුදු වි ඇත්තේ පසුගිය දා නිමාවට පත් වුණු, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ සමුළුවේදී බව ද පැවැසෙයි.

එලැඹෙන ඔක්තෝබරයේ, කැනඩාව සහ ඉන්දියාව අතරේ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිතව තිබුණු අතර, කැනඩා වෙළෙඳ ඇමැතිනී මේරී එන්ග් පවසා ඇත්තේ එම ගනුදෙනු මේ වනවිට නතර වී ඇති බවය.

පසුගිය 9 වැනිදා සහ 10 වැනිදා නවදිල්ලි අගනුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුවේ දී ඊට සහභාගී වුණු ලොව බලවත් රටවල රාජ්‍ය නායකයන් සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ සමුළුවට සමගාමීව සාකච්ඡා පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මෝදි, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද හමුවුණු අතර එය විනාඩි කීපයකට සීමා විය. ඒ දෙදෙනා අතරේ බහින්බස් වීමක් සිදුවුණු බැවින් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය ශීක්වරුන්ගේ නිජබිමය. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ප්‍රජාවක් වාසය කරන රට කැනඩාවය. අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී පක්ෂයෙන් ශීක්වරුන්ට කෙණෙහිලිකම් සිදුවෙයි. 2021 වසරේ, මොf්දි රජය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ගොවියෝ දස දහස් ගණනින් වීදි බැස විරෝධතා පැවැත්වූහ. එම විරෝධතා ආරම්භ වූයේත්, විරෝධතා මෙහෙයවූයේත් ශීක් ගොවි සංවිධාන එකමුතු වෙමිනි.
2022 වසරේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නොව, දිල්ලි මහ ඇමැති අර්ජුන් කෙජ්රිවාල් නායකත්වය දරන ‘ආම් ආද්මී’ පක්ෂයයි.

මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ කෙණෙහිලිකම්වලට එරෙහිව, කැනඩාවේ ශීක්වරු විරෝධතා පවත්වති. එම විරෝධතාවලට ලක් වන්නේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ය. ශීක්වරුන්ගේ එම විරෝධතා නැවැත්වීමට හෝ ඊට එරෙහිවට හෝ කැනඩා අග්‍රාමාත්‍ය ජම්ටින් ටෲඩෝගේ රජය කිසිවක් නොකරනවා යැයි අග්‍රාමාත්‍ය මෝදිගෙන් චෝදනා එල්ල වී ඇත. ‘ජී20’ සමුළුවේදී හිත් අමනාපකම් ඇතිවූයේ ද මේ නිසාය.


RECOMMEND POSTS