මොස්කව් නුවර හිමෙන් යටවෙයි



ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ මොස්කව් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තා වේ. හිම පතනයත් සමඟ සිදුවුණු අනතුරු හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 13 ක් යැයි පැවැසෙයි.

රුසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගතවුණු පැය 24 කාලය තුළ සෙ.මී. 43 ක හිම පතනයක් ලැබුණු බවය. කාලගුණ වාර්තා අනුව රුසියාවේ මොස්කව් අගනුවරින් මීට පෙර මේ අයුරින් හිම පතනයක් සිදු වී නැත.

එක් පුද්ගලයකු මියගොස් ඇත්තේ ලිස්සා වැටී මාරක තුවාල ලැබීමෙනි. දෙවැනියා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙනි. ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති බවත්, සිය ගණනක් මොස්කව් වැසියන් විදුලි බලය නොමැතිව පීඩා විඳින බවත් වාර්තා වේ.

මොස්කව් නගර බලධාරීන් පවසා ඇත්තේ හිම පතනයත් සමඟ ගස් 2,000 ක් කඩා වැටී ඇති බවය. ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී ඇත. නිවාස 25 කට පමණ හානි සිදුවී ඇති බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS