මොරොක්කෝ භූමි කම්පාවෙන් 2,000 ක් මරුට



මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර තිබේ. තුවාල ලැබූ ගණන 1,400ට වැඩිය. මොරොක්කෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

මොරොක්කෝව උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. අත්ලාන්තික් සාගරයටත්, මධ්‍යධරණී මුහුදටත් එය මායිම් වෙයි. බටහිර සහරාව සහ ඇල්ජීරියාව, මොරොක්කෝ රාජ්‍යයේ අසල්වැසියන්ය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ නිල භාෂා වන අතර, මොරොක්කෝවේ අගනුවර රබාත්ය.

මොරොක්කෝව කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 6.8 ක් සටහන් කළ භූමි කම්පාවකිනි. භූමි කම්පාව හටගත්තේ පසුගිය සිකුරාදා (8) රාත්‍රියේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය වාර්තා වන්නේ ඇට්ලස් කඳුකරයෙනි.

භූමි කම්පාවෙන් නගර සහ ගම්මාන රැසක් විනාහ විය. නිවාස දහස් ගණනක් මුළුමනින්ම බිමට සමතලා විය. භූමි කම්පාවෙන් මියගිය බොහෝ දෙනා එම අවස්ථාවේ නින්දේ පසුවුණු බව පැවැසෙයි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූයේ මරක්ෂ් පළාතේ ප්‍රදේශවලටය.

බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම දිගටම සිදුවෙයි.
භූමි කම්පාවෙන් සිදුවුණු විපත හේතුවෙන්, මොරොක්කෝවේ හය වැනි මොහොමඞ් රජු තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විපතට පත් වුණු අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, උන්හිටිතැන් අහිමිවූවන්ට නවාතැන් පහසුකම් ලබා දීමටත් මොහොමඞ් රජු බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

අවසන් වරට මොරොක්කෝව භූමි කම්පාවකින් තැලැඹුණේ 1960 වසරේය. රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් මියගිය ගණන 12,000 කි.

මොරොක්කෝව සහ අසල්වැසි ඇල්ජීරියාව අතරේ, පසුගිය වසර කීපය පුරා හිත් අමනාපකම් පැවැතිණි. කෙසේ නමුත් භූමි කම්පාවෙන් සිදුවුණු විපත සමග මොරොක්කෝවට හැකි සෑම අයුරින් උදවු කිරීමට ඇල්ජීරියාව පියවර ගෙන තිබේ. මේ වනවිටත් මානුෂීය ආධර රැගත් ඇල්ජීරියානු ගුවන් යානා කීපයක් මොරොක්කෝවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


RECOMMEND POSTS