මොනවා හරි වුණොත් රජය වගකියන්නේ නෑ
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් බ්‍රසීල වැසියන්ට ලබා දීමට පියවර ගන්නා බවත්, කැමැති ඕනෑම කෙනකුට එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බවත් පවසමින්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ අවධාරණය කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම රජය හෝ සෞඛ්‍ය අමත්‍යාංශය හෝ බාර නොගන්නා බවය.
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ගැන තමන්ගේ කිසිදු විශ්වාසයක් නැති නමුත්, ජනතාව එය ලබා ගැනීමට කැමැත්ත පළ කරන බැවින්, එන්නත් මිලදී ගැනීමට කටයුතු කරන බවය. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, ‘කොවිඩ් 19’ වයිරය අවතක්සේරු කරන අයෙකි. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
ජනපති බොල්සරානෝ, මුහුණු ආවරණ පැලඳීම හෝ සමාජ දුරස්ථභාවය රැක ගැනීමට හෝ කටයුතු නොකළ බැවින්, මීට මාස කීපයකට පෙර ඔහු ද කොරෝනා ආසාදිතයකු බවට පත් විය. කෙසේ නමුත් දින 14 කට පසු වයිරසය පරාජය කිරීමට හෙතෙම සමත් විය. බොල්සරානෝ පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව එන්නතක් ලබා නොගන්නා බවය.
ඊයේ (24) වනවිට බ්‍රසීලයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 7,366,677 ක් බවත් මරණ 1,89,264 ක් බවත් වාර්තා විය. බ්‍රසීල ජනාධිපතිවරයා මෙන්ම බ්‍රසීල වැසියන් ද වයිරසය ගැන තැකීමක් නොකරන බව පෙනෙයි. රියෝ දි ජිනැයිරෝ වැනි බ්‍රසීලයේ සුප්‍රකට නගරවල මුහුදු වෙරළ ජනතාවගෙන් පිරී පවතින බව එරට පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සාඕ පාවුලෝ නුවරදීය (ඒ.එෆ්.පී.)

