මෙක්සිකෝවට බදු ගන්න ට්‍රම්ප් සැරැසෙයි



ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට නියමිත තාප්පය සඳහා මුදල් සොයා ගැනීමට, මෙක්සිකෝවෙන් බදු අය කර ගැනීමට කටයුතු කරනවා යැයි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මෙක්සිකෝවේත් එරට ජනාධිපති එන්රීක් පිනෝ නීටාගේත් දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත. මේ මස අවසානයේදී මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පිනෝ නීටා ඇමෙරිකාවේ සංචාරයකට යෑමට සූදානමින් සිටී. ඒ, ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය. 

ට්‍රම්ප්ට විරෝධය දැක්වීමක් ලෙස එම සංචාරය අවලංගු කිරීමට ද මෙක්සිකෝ ජනපතිවරයා තීරණය කර ඇති බව. මෙක්සිකෝ රජය නිවේදනය කර තිබේ. ඒ අනුව ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.

අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණීම වැළැක්වීමට මෙක්සිකෝවත් ඇමෙරිකාවත් අතර දේශසීමාවේ තාප්පය ඉදිකිරීමේ නියෝගයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය 25 වැනිදා අත්සන් තැබුවේය. ට්‍රම්ප් ඉදිකිරීමට බලපොරොත්තු වන එම තාප්පයට තමන් මුදල් ගෙවීමට සූදානම් නැතැයි මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පිනෝ නීටා අවධාරණය කර ඇත.

 

(රොයිටර්)


RECOMMEND POSTS