මෙක්සිකෝ ජනපති - ට්‍රම්ප් හමුව



ට්‍රම්ප් සහ පුටින් සේම, ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනපති එන්රීකේ පෙනා නීටෝ අතරේ ද හමුවක් ‘ජී 20’ සමුළුවට සමගාමීව පැවැත්විණි.

ජනපති පෙනා නීටෝ සහ ට්‍රම්ප් අතර ඇයිහොඳයිකම් පළුඳු වී ඇති හෙයින් මෙම හමුව ද කාගේත් අවධානයට ලක් විය.
මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසියාය. ජනපති ධුරයට පත්වීමට පෙර, ජනපතිවරණයේ දී ට්‍රම්ප් ඡන්ද පොරොන්දුවක් දුන්නේය. ඒ, මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ තාප්පයක් ඉදිකරන බවටය.

මෙක්සිකෝවෙන් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් නිසා ඇමරිකාවේ අපරාධ සිදුවෙනවා යැයි ට්‍රම්ප් පෙන්වා දෙයි. තාප්පයකින් දේශසීමාව වසා දැමෙන්නේ එහෙයිනි.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඇමෙරිකාව තුළ නීතිවිරෝධීව රැඳී සිටි මෙක්සිකා වැසියන්ට ආපහු මෙක්සිකෝවට යෑමට සිදුවිය.

තාප්පය ඉදිකිරීමට මේ වනවිට පිඹුරුපත් සකස් කර අවසන්ය. ඊට බලය සැපැයෙන්නේ සූර්ය බලශක්තියෙන්ය.

ට්‍රම්ප් පවසා ඇත්තේ තාප්පය ඉදිකිරීමට මුදල් මෙක්සිකෝවෙන් අය කර ගන්නා බවය. මෙක්සිකෝ ජනපති එන්රීක් පෙනා නීටෝ මීට තදින් විරෝධය පළ කරයි. ට්‍රම්ප් සහ පෙනා නීටෝ අතර මිතුදම් පළුදු වූයේ ඒ අනුවය.

ජී 20 සමුළුව අතරතුර ට්‍රම්ප් සහ පෙනා නීටෝ හමුවුණු අවස්ථාවේදී, මෙක්සිකෝ ජනපති තම ‘මිතුරෙකු’ යැයි හඳුන්වා දීමට ට්‍රම්ප් අමතක නොකළේය. කෙසේ නමුත් ‘තාප්පෙට නම් මුදල් ගෙවන්න වෙනවා’ යැයි ට්‍රම්ප් මෙක්සිකෝ ජනපති පෙනා නීටෝ ට කියා සිටියේය.

එහිදී ද මෙක්සිකෝ ජනපති පිළිතුරු දුන්නේ ‘සතයක්වත් දෙන්නේ නැහැ’ කියාය. එල්ලා ගත් මුහුණුවලින් යුක්තව දෙදෙනාගේ කෙටි හමුව අවසන් විය.

(රොයිටර්)

 


RECOMMEND POSTS