මෙක්සිකෝ ගුවන් යානයක් කඩා වැටේ



පුද්ගලයන් 101 දෙනකු රැගත් මෙක්සිකෝ මගී ගුවන් යානයක් කඩා වැටුණි.

කඩා වැටුණේ ‘එයාර් මෙහිකෝ’ ගුවන් සමාගමය අයත් රට අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය කඩා වැටුණේ මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රාන්තයේ ගුඩලූප් වික්ටෝරියා ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළතදීය.

පියාසර කරමින් තිබුණු යානය හිටිහැටියේ පහළට ඇද වැටෙන්න වූ  අතර, ප්‍රධාන නියමුවා යානයේ වේගය පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවේය. කඩා වැටුණේ අංක එම්.ඒ. 2431 දරණ ගුවන් යානයයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පහළට පැමිණි වේගයෙන්ම, යානය බිම දිගේ ඇදී යෑමට සැලැස්වීමට නියමුවා සමත් විය. ඇතුළේ සිටි පිරිස මර බියෙන් කෑ ගසද්දී, බිම දිගේ ඇදී ගිය යානය නතර කර ගැනීමට ද නියමුවා සමත් විය.

මගීන් සහ කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස බේරා ගැනීමට නියමුවා සමත් වුව ද ඔහු බරපතල ලෙස තුවාල ලැබුවේය. අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ ගණන 85 කි. නියමුවාට අමතරව, බරපතල ලෙස තුවාල ලැබූ තවත් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි.

යානයේ සිටි 101 දෙනාගෙන් 97 දෙනකු මගීන් බවත් ඉතිරි පිරිස යානයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බවත් පැවැසෙයි. යානය බිමට පතිත වෙද්දී එය ගිනි ගත්තේය.

යානය කඩා වැටුණු බව දැනගත් සැණින්, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ, වෛද්‍ය ආධාරකරුවෝ සහ පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණියහ. ගින්න නිවා දමා යානය තුළ සිටි පිරිස් පිටතට ගැනීම කඩිනමින් සිදුවිය.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි. යානය උඩු ගුවනේදී සැඬ සුළං පහරකට හසුවන්න ඇති බවත්, ඉන්පසු එය බිමට පතිත වෙන්න ඇති බවත් අනුමාන කෙරේ.

යානය ගුවන්ගත වී ඇත්තේ, ගුඩලූප් වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට මෙක්සිකෝ අගනුවර බලා යෑමටය. අනතුරින් පසු ගුඩලූප් වික්ටෝරියා ගුවන්තොටුපොළේ සෙසු ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමුණු බව ද පැවැසෙයි. යානය අනතුරට ලක්වූයේ කෙසේදැයි සොයා බැලීමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS