මුහුණු ආවරණ පලඳින්නැයි ජනපතිට නියෝග

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් තර්ජන එල්ල වන බැවින්, ප්‍රසිද්ධියේ පෙනී සිටින සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පලඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයෙක් එරට ජනාධිපති ජාර් බොල්සරානෝට නියෝග කළේය.
අද වනවිට දෙවැනියට ලොව වැඩිම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරා්නා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය ඉහවහා ගොස් ඇත්තේ දක්ෂිණාංශික ජනපති බොල්සරානෝගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් චෝදනා එල්ල වී ඇත. බ්‍රසීලයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවෙද්දී පවා ජනාධිපති බොල්සරානෝ කියා සිටියේ ‘බය වෙන්න දෙයක් නැහැ. ඒක නිකම්ම නිකම් හෙම්බිරිස්සාවක්’ යනුවෙනි.
‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ අනුගමනය කරන්නේ ලිහිල් ප්රතිපත්තියකි. වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ අනතුරු ජනපති බොල්සරානෝ ගණන් ගත්තේ නැත. පසුගිය මාස කීපය ඇතුළත, වයිරස වසංගතය මුල්කොට ගනිමින්, ජනපති බොල්සරානෝ සමඟ ඇතිවුණු මත ගැටුම් හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වූහ.
වයිරස වසංගතය හමුවේ නගර සහ දිස්ත්‍රික්ක ‘ලොක්ඩවුන්’ කිරීම ආරම්බයේ දී ජනපති බොල්සරානෝ ප්‍රතික්ෂේප කළේය. ඒ, එසේ ලොක්ඩවුන් කිරීමෙන් රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි පැහැදිලි කරමිනි. රට ලොක්ඩවුන් කර වයිරසය පාලනය කරන්නැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජනපති බොල්සරානෝට බල කරමින් විරෝධතා පවත්වද්දී, ජනපති බොල්සරානෝට සහාය පළ කරමින් ද ජන රැලි පැවැත්විණි. බොල්සරානෝ එම රැලිවලට සහභාගී වූයේ කැස්ස තිබියදීය. එක් අවස්ථාවක ජනපතිවරයා මහලු කාන්තාවගේ මුහුණට කිවිසුමක් ද හැරියේ යැයි පැවැසෙයි.
අවසානයේ වයිරස රෝගීන් ඉහවහා යද්දී, අකමැත්තෙන් වුවත් බ්‍රසීලය ලොක්ඩවුන් කිරීමට ජනපතිට සිදුවිය. එසේ වුවත් මේ වනවිට ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට ජනපති බොල්සරානෝ සූදානම් වෙයි. සෞඛ්‍ය බලධාරීන්ගෙන් මීට දැඩි විරෝධයක් එල්ල වී ඇත.
බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ වයිරසය ඉහවහා යද්දී, බ්‍රසීලියා අගනුවර සහ ෆෙඩරල් දිස්ත්‍රික්කවල සියලු දෙනා මුහුණු ආවරණ පැලඳිය යුතු යැයි නීතියක් ක්‍රියාත්මක කෙරුණි. ඒ, සෞඛ්‍ය අංශ සහ ෆෙඩරල් බලධාරීන්ගේ එක්වීමෙනි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ෆෙඩරල් දිස්ත්‍රික් ආණ්ඩුකාර ඉපෙනිස් රෝචා ය. ඒ අනුව, පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට ප්‍රසිද්ධ ස්ථානවලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය වුණු අතර, මුහුණු ආවරණ නොපලඳින්නේ නම්, බ්‍රසීල රියාල් 2,000 ක දඩ මුදලක් නියම කෙරුණි. එම දඩය ඇමෙරිකන් ඩොලර් 388 කි.
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ සිය ජීවිතය පමණක් නොව, බ්‍රසීල ජනතාවගේ ජීවිත අනතුරේ දමනවා යැයි විපක්ෂ ක්‍රියාකාරීන් සහ සෞඛ්‍ය අංශ අධිකරණයට පෙන්වා දී තිබුණි. ඒ අනුව, බ්‍රසීලියා අගනුවර විනිසුරුවරයා ජනපති බොල්සරානෝට අවධාරණය කර ඇත්තේ, ඔහු රටේ ජනපති වුවත්, ඔහුට විශේෂයක් කළ නොහැකි බවය. ජනපති බොල්සරානෝ හෝ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපලඳින්නේ නම්, ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරදඩ මුදල් අය කර ගන්නැයි විනිසුරුවරයා පොලිසියට නියෝග කර තිබේ.
බ්‍රසීලියාහිදීය (රොයිටර්)

