මිසයිල ප්‍රහාර මැද යුක්රේනයේ

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවෙද්දී, රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
සති දෙකකට ආසන්න කාලයකට පසු කීව් අගනුවරට එල්ල වූ පළමු මිසයිල ප්‍රහාරය මෙයයි. ප්‍රහාරයෙන් තිදෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. කීව් අගනුවරට ගිය ජගත් මහ ලේකම්වරයා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී, කීව් අගනුවර සිවිල් වැසියන් සම්බන්ධයෙන් සිදුවන මානුෂීය මෙහෙයුම් ගැන සාකච්ඡා කරමින් සිටිද්දී, රුසියන් මිසයිල ප්‍රහාරය එල්ල වූ බව ද පැවැසෙයි.
මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ජගත් මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයේ නිලධාරීන් හමුවුණු ස්ථානයට නුදුරිනි. මිසයිල ප්‍රහාරයත් සමඟ ජගත් මහ ලේකම්වරයා සහ ඔහුගේ කණ්ඩායම මහත් සේ බියටත් කලබලයටත් පත් වූ බව ද පැවැසෙයි.
‘ඒක හරියට අප යුද පිටියට ගියා හා සමානයි. ජගත් මහ ලේකම්වරයාට හෝ අප කණ්ඩායමේ කිසිවකුට හෝ අනතුරක් සිදුවුණේ නැහැ. ඒත් අප බොහොම කම්පනයට පත් වුණා’ යැයි ජගත් මහ ලේකම්වරයා සමඟ ගිය කණ්ඩායමේ සාමාජික සවියානෝ අබෲ මාධ්‍ය හමුවේ පැවැසුවේය. එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් කාර්යාලයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන්නේ අබෲ ය.
ජගත් මහ ලේකම්වරයා තමන් හමුවෙද්දී, රුසියාව සහාසික ආකාරයට කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එය ජගත් මහලේකම්වරයා සහ ඔහුගේ කණ්ඩායම අනතුරේ දැමීමක් බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැවැසීය.
(රොයිටර්)

