මියගිය අය අතර වියට්නාම් ජාතිකයෝ



බල්ගේරියාවේ සිට මහා බි‍්‍රතාන්‍යයට ඇතුළු වී, එසෙක්ස් පළාත තෙක් පැමිණි කන්ටේනර් ට‍්‍රක් රිය තුළ මියගොස් සිටි 39 දෙනා අතර වියට්නාම් ජාතිකයන් ද සිටින බව පැවැසෙයි.

මියගිය 39 දෙනා චීන ජාතිකයන් බව මූලික පරීක්ෂණවලිනී අනාවරණය විය. පුළුල් පරීක්ෂණවලින් පසු මේ වනවිට පොලිසිය පවසන්නේ වියට්නාම් පවුල් දෙකක සාමාජිකයන් ද මියගිය පිරිස අතර සිටින බවය.

ට‍්‍රක් රියේ සිටි 26 හැවිරිදි පෑම් තී තාරා මයි නමැති තරුණිය ඇගේ මවට ජංගම දුරකතනයකින් කෙටි පණිවුඩයක් යවා ඇත. ඒ, මියයෑමට පැය කීපයකට පෙරය. එම කෙටි පණිවුඩයේ සඳහන් වී ඇත්තේ ට‍්‍රක් රිය තුළ කොටු වී සිටින ඇය සහ සෙසු පිරිසට හුස්ම ගැනීමට පවා නොහැකි බවය.

මියගිය පිරිස සංක‍්‍රමණිකයන් බවත්, ඔවුන් නීතිවිරෝධී ආකාරයට, මිනිස් ජාවාරම්කරුවන්ගේ සහාය ඇතිව බි‍්‍රතාන්‍යයට පැමිණ ඇති බවත් පැවැසෙයි. පොලිසිය අද (26* කියා සිටියේ සැකපිට තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවය. මේ වනවිට ට‍්‍රක් රථයේ රියැදුරා ද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS