මිනියැපොලිස් පොලිසිය කඩා දමන්න තීරණයක්



පොලිස් අත්අඩංගුවේ සිටියදී, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටි මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කඩා දමා අලුතින් ඉදි කිරීමට කටයුතු කරන බව මිනියැපොලිස් නගර බලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නගරසභා බලධාරීන් රැස්වී ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, එහිදී ඒකමතිකව තීරණය වූයේ, අපකීර්තියට ලක් වුණු මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කඩා බිඳ දමා යළි ඉදිකිරීමට පියවර ගන්නා බවය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී ජෝජ් ෆ්ලොයිඞ් මියගියේ පසුගිය 25 වැනිදාය. දණ හිසින් ෆ්ලොවිඞ්ගේ ගෙල සිර කළ පොලිස් නිලධාරියා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හුස්ම සිරවීමෙන් ජෝජ් ෆ්ලොයිඞ් මියයෑමත් සමඟ කළු ජාතීන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් මිනියැපොලිස් නුවරින් ඇරැඹුණු විරෝධතා ඇමෙරිකාව පුරා පැතිර ගියේය. වෙනත් රටවල් 40 ක ද විරෝධතා පැවැත්විණි. ඒ, කළු ජාතීන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් මර්දනය කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපද ආණ්ඩුකාරවරුන්ට, පොලිසියට සහ හමුදාවට උපදෙස් දීමත් සමඟය.

ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් විශේෂ ගුණ සැමරුමක් මිනියැපොලිස් නුවරදී පසුගිය සිකුරාදා (5) පැවැත්වුණු අතර, ඔහුගේ අවමංගල උත්සවය පැවැත්වූයේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවරය. ජෝජ් ෆ්ලොයිඞ් හූස්ටන් නුවර වැසියෙකි.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS