මැලේසියා හිටපු අගමැති අත්අඩංගුවට




අල්ලස් චෝදනා එල්ලවුණු මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

නජීබ් රසාක් බලයේ සිටියදී, රජයේ මුදල් බිලියන ගණනින් අතුරුදන් වුණැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ ද මැලේසියා දූෂණ විමර්ශන කොමිසමය.

තමන් කිසිදු වරදක් කර නොමැති බව හිටපු අගමැතිවරයා පවසා ඇත.

පසුගිය දා දූෂණ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කියා සිටියේ, හිටපු අගමැතිවරයාට අයත් නිවාසවල තිබී, ඇමෙරිකන් ඩොලර් මිලියන 225 ක් වටිනා අත්බෑග්, ස්වර්ණාභරණ, මුදල් සහ අනෙකුත් භාණ්ඩ රැසක් සොයා ගත් බවය.

හිටපු අගමැති නජීබ් රසාක් මුදල් විශුද්ධිකරණ කටයුතුවල නියැලුණු බවට ද චෝදනා එල්ල වී ඇත.

මැලේසියා මහ මැතිවරණය පසුගිය මැයි මාසයේ පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණය කළේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට නායකත්වය දුන් මැලේසියාවේ හිටපු ජනපතිවරයකු මෙන්ම කෘතහස්ථ දේශපාලඥයකු ද වන මහතීර් මොහොමද්ය.

අගමැති රසාක් එම මැතිවරණයෙන් පරාජයට පත් වූයේ ඔහුට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමිනි.

අගමැති නජීබ් රසාක්ගේ පාලනය යටතේ සිදුවුණු අකටයුතුකම් සොයා බැලීමටත්, ඔහුගේ පාලනය යටතේ ‘අතුරුදක් වුණැයි’ පැවැසෙන රාජ්‍ය මුදල් කෙසේ හෝ යළි ලබා ගැනීමටත් කටයුතු කරන බව නව අගමැති ලෙස මහතීර් මොහොමද් ප්‍රතිඥා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS