මැලේසියා මැතිවරණය: කාටවත් ජය නෑ



මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල අද (20) නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වූයේ නැත.

මහ මැතිවරණයේ දී තියුණු සටනක් පැවැතියේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් ප්‍රමුඛ ඔහුගේ 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සහ හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රමුඛ ඔහුගේ 'ජාතික සන්ධානය' අතරේය.

මැලේසියානු පාර්ලිමේන්තුව ආසන 222 කින් සමන්විතය. ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 'පක්ටාන් හරප්පාන්' සන්ධානය ආසන 82 ක් දිනාගෙන සිටි අතර 'ජාතික සන්ධානය' දිනා ගෙන සිටියේ ආසන 73 කි.

වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' දිනා ගත්තේ ආසන 30 ක් පමණි. අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' ජනතා අප්‍රසාදයට පත් වූයේ එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙනි. 'බර්සියන් ජාතික සන්ධානය' මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ මැලේසියාවට නිදහස ලැබූ දා සිටය.

මැලේසියානු දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නව හවුල් රජයක් පිහිටුවීමේදී 'බර්සියන් ජාතික සන්ධානය', 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සමඟ හෝ 'ජාතික සන්ධානය' සමඟ හෝ එක්වීමට ඉඩ ඇති බවය.

මේ අතර, මැලේසියාවේ කෘතහස්ථ දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් ද මෙම මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමද් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ් ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය.

අඩ සියවසකට පසු මහතීර් මොහොමද් ලැබූ පළමු මැතිවරණ පරාජය වන්නේ මෙයයි.  මහතීර් මොහමොඩ් වසර 22 ක් මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඒ, 1981 සිට 2003 තෙක් කාලයේය. පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. කෙසේ නමුත් මීට වසර දෙකකට පසු ඔහු යළි දේශපාලනයට පිවිසියේය.

ඒ, දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියානු දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ බැවිනි. 2018 වසරේ දී, 93 වැනි ඡන්ම දිනයට ඔන්න මෙන්න කියා තිබියදී මහතීර් මොහොමද් යළි මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඒ, එදා මැලේසියානු විපක්ෂ සන්ධානය පොදු අපේක්ෂකයා ලෙස මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් කළ බැවිනි. කෙසේ නමුත්, පිහිටුවූ එම සන්ධාන රජය මාස කීපයකින් බිඳ වැටුණි. ඒ මත ගැටුම් නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS