මැජික් අරිෂ්ටය ටැන්සානියාවට

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පැරැදීමට සිරුරේ ප්‍රතිශක්තියක් ඇතිවෙනවා යැයි පැවැසෙන මැඩගස්කරයේ නිෂ්පාදිත සුවිශේෂී අරිෂ්ටය ඇණවුම් කිරීමට ටැන්සානියාව පියවර ගෙන ඇත.
ටැන්සානියාව නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයක් වන අතර මැඩගස්කරය යනු අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි දූපත් රාජ්‍යයකි.
‘කොවිඞ් ඕර්ගැනික්ස්’ යන නමින් නම් කළ අරුම පුදුම අරිෂ්ටය නිෂ්පාදනයට කර ඇත්තේ මඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ බෙහෙත් වට්ටෝරුවකට අනුව යැයි පැවැසෙයි.
‘කොවිඞ් ඕර්ගැනික්ස්’ බෝතල් තොගයක් විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ටැන්සානියා ජනාධිපති ජොන් මගුෆූලි ය.
‘කොවිඞ් ඕර්ගැනික්ස්’ අරිෂ්ටයට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැරැදීමට හැකි බව නිවේදනය කළේ මැඩගස්කර් ජනාධිපති ඇන්ද්‍රේ රජෝලිනාය. ඒ, මීට සතියකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
මෙය පානය කිරීමෙන් වයිරසය ආසාදනය වීම වැලැකී යනවා සේම, ආසාදිතයන් අරිෂ්ටය පානය කිරීමෙන් ඉක්මනින් සුවය ලබන බව මැඩගස්කර් වෛද්‍යවරුන් ද පවසා ඇත.
අරිෂ්ටය නිෂ්පාදය සහ බෙදා හැරීම සිදු කරන්නේ මැඩගස්කර් රජය මගින් පවත්වාගෙන යනු ලබන මැලැන්ගිසි ආයතනයයි. මෙය විද්‍යා පර්යේෂණ ආයතනයකි. බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 40 ක් යැයි පැවැසෙයි.
ටැන්සානියා ජනාධිපතිවරයා පමණක් නොව, කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ද මේ වනවිට ‘කොවිඞ් ඕර්ගැනික්ස්’ අරිෂ්ට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
මෙම අරිෂ්ටය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තියෙඩෝර්ස් ග්රෙබ්රියේසිස්ගේ අවධානය යොමු වී ඇති අතර ඔහු පවසා ඇත්තේ පාරම්පරික ඖෂධ යොදා සකස් කළ අරිෂ්ටවලට කොවිඞ් 19 අඩපණ කිරීමට හැකියාව තිබෙනවා විය හැකි බවය.
කෙසේ නමුත් මෙම අරිෂ්ටය කොවිඞ් 19 සඳහා නිල ඔසුවක් ලෙස පිළිගැනීමට නොහැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.
ඩොඩෝමාහිදීය (රොයිටර්)

