මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්



මාලදිවයින ජනාධිපතිවරණයෙන්, රට විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. මුයිසු චීන හිතවාදියෙකි. මාලදිවයින මැතිවරණ කොමිසම නිවේදනය කළේ ‘ජාතික කොංග්‍රසය’ පක්ෂයට නායකත්වය දෙන මොහොමඩ් මුයිසු සියයට 54.06 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් බවය.

ඊයේ (30) පැවැත්වූයේ මාලදිවයින ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවූයේ සැප්තැම්බර් 8 වැනිදා පැවැති පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි.

දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනූ 45 හැවිරිදි මොහොමඩ් මුයිසු සහ වත්මන් ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී අතරේය. ඊබ්‍රහීම් සෝලී නායකත්වය දෙන්නේ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය.

පළමු වටයෙන් ද සෝලී ට වඩා මුයිසූ වැඩි ඡන්ද දිනා ගනිමන් ඉදිරියට පැමිණියේය. පළමු වටයේ දී මුයිසූ දිනාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 46 කි. සෝලි දිනා ගැනීමට හැකි වූයේ සියයට 39 ක ඡන්ද ප්‍රතිශකයක් පමණි.

ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙකි. පසුගිය වසර කීපයේ මාලදිවයින සහ ඉන්දියාව අතරේ ශක්තිමත් සබඳතා ගොඩ නැගුණේ සෝලි නිසාය. ඉදිරියේ දී නව ජනාධිපති මුයිසු යටතේ මාලදිවයින වඩාත් චීනයට සමීප වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
මොහොමඩ් මුයිසු සිය මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ ද ‘ඉන්දියාව එපා’ යන තේමාව යටතේය.

මුයිසු, මාලේ අගනුවර හිටපු නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මුයිසු දේශපාලනයට පිවිසියේ 2012 වසරේදීය. 1978 වසරේ උපන් මුයිසු එක්සත් රාජධානියේ ලීඞ්ස් විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකරගෙන තිබේ.

ඊයේ (30) පැවැති ජනාධිපතිවරණයෙන් මුයිසු ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කිරීමටත් පෙර, වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලී බරාජය බාර ගනිමින්, මුයිසු ට සුබ පැතුවේය. නව ජනාධිපති ලෙස මුයිසු දිවුරුම් දෙනු ඇත්තේ ලබන නොවැම්බර් 17 වැනිදාය. එතෙක්, භාරකාර ජනාධිපති ලෙස ඊබ්‍රහීම් සෝලී කටයුතු කරුනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS