මා බලයෙන් නෙරපන්න ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා

තමා ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහාය හිමිවන බවත්, තමා කිසිම හේතුවක් නිසා ධුරයෙන් ඉවත් නොවන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් පැවැසීය.
විශ්වාසභංගයකට මුහුණ දෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට මේ වනවිට පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුව) බහුතරය අහිමි වී තිබේ. විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසුම අනිද්දා (3) පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා ජාතිය ඇමැතීමට සූදානම් වෙද්දී, පාකිස්තාන හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් අතර අවස්ථා කීපයකදී හමුවක් පැවැත්වුණු බව වාර්තා වේ.
ඇතැම් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ජාතිය ඇමැතීමෙන් වළකින්නැයි හමුදා ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවය. කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බවත්, ධුරයෙන් ඉල්ලා අස්වීමට හමුදාපති ජනරාල් කමර් ජාවෙද් බජ්වාගෙන් තමන්ට කිසිදු බලපෑමක් නොකළ බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් පවසා ඇත.
ජාතිය අමතමින් ඉල්ලා අස්නොවන බව අවධාරණය කළ ඉම්රාන් වැඩි දුරටත් කියා සිටියේ, විපක්ෂය තමන් ධුරයෙන් ඉවත් කිරීමට සූදානම් වන්නේ ඇමෙරිකාවේ සහාය ඇතිව බවය. ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ගණනාවක් ඇති බව ද ඉම්රාන් දිගින් දිගටම පෙන්වා දුන්නේය.
‘ඇමෙරිකාව, නැහැ මට නමින් ඒක කියන්න බැහැ, විදේශ රාජ්‍යයක් පාකිස්තාන විපක්ෂයට සහාය පළ කරනවා මා ධුරයෙන් නෙරපා දමන්න. විදේශ පාර්ශ්වයක් පාකිස්තාන දේශපාලනයට මැදිහත් වීම පිළිකුල්සහගතයි’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ජාතිය අමතමින් වැඩි දුරටත් කියා සිටියේය.
‘මා ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ. අවසන් පන්දුව තෙක් සටන් කරනවා’ යැයි ඉම්රාන් අවධාරණය කළේය. දේශපාලනයට පිවිසීමට පෙර ඉම්රාන් ඛාන් පාකිස්තානයට කීර්තියක් ගෙනා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
69 හැවිරිදි ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වූයේ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පිහිටුවාගත් සභාග රජයට එක් වී සිටි ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක, විපක්ෂය වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සමඟ එකඟතාවක් ඇති කර ගනිමින් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් ඉවත් වීමත් සමඟය.
ඒ අනුව, ‘පාකිස්තාන ජනතා පක්ෂය’ ප්රමුඛ විපක්ෂ සන්ධානයට ආසන 172 ක බහුතරය හිමිවී තිබේ. පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාවේ ආසන ගණන 342 කි.
‘පාකිස්තාන ජනතා පක්ෂය’ ප්රමුඛ විපක්ෂ සන්ධානය, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට චෝදනා නගන්නේ, පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට වගකිවයුතු බවටය.
‘පාකිස්තාන ජනතා පක්ෂය’ ප්රමුඛ විපක්ෂ සන්ධානය, විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුම ඉදිරියේ දී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. විශ්වාසභංගයෙන් පරාජය වීමට පෙර ඉල්ලා අස්වන්නැයි ‘පාකිස්තාන ජනතා පක්ෂය’ දිගින් දිගට ඉම්රාන්ට පවසා ඇති නමුත් ඉම්රාන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි.
‘අග්‍රාමාත්‍ය ඉම්රාන් කළ යුත්තේ ගෞරවය රැක ගනිමින් ඉල්ලා අස්වීමයි. නැතිනම් ඔහු බලයෙන් නෙරපා දැමීම සිදුවෙවි’ යැයි පාකිස්තාන ජනතා පක්ෂය මෙහෙයවන එහි සභාපති බිලාවිල් භූතෝ කියයි. බිලාවිල් භූතෝ යනු ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍යවරිය බෙනාසිර් භූතෝගේ පුත්‍රයාය.
(රොයිටර්)

