මහා සයිබර් ප්‍රහාරයකින් පරිගණක කටයුතු අඩපණ වෙයි



මහා පරිමාණයේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය, තායිවානය සහ රුසියාව ඇතුළු රටවල් 99 ක පරිගණක පද්ධති අඩපණ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පරිගණක පද්ධති අඩපණ කර ඇත්තේ ‘රැන්සම්’ (කප්පම්) නමැති පරිගණක වැඩසටහන මගිනි.

පරිගණක ජාලා සහ පද්ධති මෙම වැඩසටහන මගින් අවහිර කර ඇති අතර යළි ඒවාට පිවිසීමට නම් ඇමෙරිකන් ඩොලර් 300 ක කප්පම් මුදලක් ලබා දෙන්නැයි එම වැඩසටහන ක්‍රියාත්මක කළ හැකර්වරුන් බල කර තිබෙන බව ද වාර්තා වේ.

‘රැන්සම්’ වැඩසටහන, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ පරිගණක විශේෂඥයින් විසින් නිර්මාණය කරන ලද්දක් යැයි සැක කෙරේ. ඊට හේතුව, ඔවුන් නිර්මාණය කළ එම පරිගණක වැඩසටහන පසුගිය අප්‍රේල් මාසයේ දී, ‘ෂැඩෝ බ්‍රෝකර්ස්’ නමැති පරිගණක හැකර් කණ්ඩායම විසින් සොරකම් කිරීමය.

සොරකම සිදුවුණු සැණින් ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ දැනුම්දීම මත ලොව රටවල අත්‍යාවශ්‍ය පරිගණක පද්ධති යවත්කාලින කිරීමට ද පියවර ගත් බව වාර්තා වේ.

සයිබර් ප්‍රහාර යනු පරිගණක සහ අන්තර් ජාල සේවා ඔස්සේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාවකි.

රටක පරිගණක හා සම්බන්ධ සියලු කටයුතු සැණින් අඩපණ කිරීමට සයිබර් ප්‍රහාරයකට පුළුවනි.

සයිබර් ප්‍රහාර එල්ල කරන පරිගණක විශේෂඥයන් හඳුන්වන්නේ හැකර්වරුන් ලෙසිනි. මොවුන් පරිගණක පද්ධති අඩපණ කරන, දත්ත විකෘති කරන ඩිජිටල් සොරුන් ලෙසින් ද හැඳින්වෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS