මහ ඇමැතිගේ කණට ගහලා



මැතිවරණ රැළියකින් පසු රිය පෙරහරකට එක්වෙමින්, ජනතාව අතරට ගිය අවස්ථාවේදී ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඊයේ (4) අතුල් ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය එල්ල වූයේ මෝති නගර් ප්‍රදේශයේදිය. කෙජ්රිවාල් ඔහුගේ ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂ ආධාරකරුවන් ද පිරිවරා ගනිමින් රිය පෙරහරට එක් වී සිටියේය.

ප්‍රහාරයට ලක් වෙද්දී මහ ඇමැතිවරයා ජිප් රියක සිටගෙන මඟ දෙපස රැස්ව සිටි ජනතාවට අතවනමින් සිටියේය. ඔහු අසල ‘ආම් ආද්මී’ පක්ෂයේ නියෝජියෝ රැසක් ද වූහ. ‘ආම් ආද්මී’ පක්ෂයේ නායකයා වන්නේ ද කෙජ්රිවාල්ය.

හිටිහැටියේ, රතු පැහැති ටී ෂර්ටයකින් සැරැසුණු තරුණයකු ජිප් රියට ගොඩ වී, මහ මැතිවරයාට අසලට ගොස් ඉතා සැරෙන් අතුල් ප්‍රහාරයක් එල්ල කළේය. එම දසුන් ඉන්දීය පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ප්‍රහාරය එල්ල වන්නේ මහ ඇමැතිවරයා මවිතයට පත් කරමිනි.

ප්‍රහාරය එල්ල කළ තරුණයා ආම් ආද්මී  පක්ෂ ආධාරකරුවන් විසින් අල්ලා ගනු ලැබූ අතර, ඔහු පසුව පොලිස් අත්අඩංගුවට පත් විය. සුරේෂ් නමැති එම තරුණයා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පැවැසීය. තරුණයා මෝටර් රථ කොටස් අලෙවිසැලක් පවත්වාගෙන යන අයකු බව ද පැවැසෙයි.

එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා චෝදනා නගා ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයටය.

කෙජ්රියාල්ගේ ආම් ආද්මී පක්ෂය නවදිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ පාලක භාරතීය ජනතා පක්ෂයේ හෝ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ හෝ සහාය නොමැතිව තනිවමය. අගමැති මෝදි නිරන්තරයෙන් විවේචනය කරන අයකු ලෙස කෙජ්රිවාල් ප්‍රකටය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS