මදුරෝගේ ගුවන් යානය ඇමෙරිකාව උස්සලා



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ කුඩා ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

‘ෆෝල්කන් 900 ඊඑක්ස්’ වර්ගයේ මෙම ගුවන් යානය, ඇමෙරිකන් බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇත්තේ ඩොමිනිකන් ජනරජයේදීය. ගුවන් යානයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 13 කි. ගුවන් යානය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට රැගෙන යෑම සිදුවිය.

ඇමෙරිකාව, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවටත්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝටත් විවිධාකාරයේ චෝදනා යටතේ සම්බාධක පනවා ඇත. ගුවන් යානය තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් කටයුතු කළේ එම සම්බාධක උල්ලංගනය කළේ යැයි චෝදනා නගමිනි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි මාසයේදී පැවැත්වුණු අතර එයින් ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මදුරෝ සමත් විය. කෙසේ නමුත් එම ජනාධිපතිවරණය ද දූෂිත යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකාව පවසන්නේ දැඩි ලෙස මර්දනයට ලක්වුණු වෙනිසියුලා විපක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS