මදුරුවන්ගෙන් බෝවන උණ රෝගයක් ඇමෙරිකාවේ

මදුරුවන්ගෙන් බෝවන මොළයට හානි කරන ‘එන්සෙපලයිටිස්’ වයිරස රෝගයක් ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් ඇති බවත්, මෙම වයිරසයට බිලි වුණු රෝගීන්ගෙන් 10 දෙනකු මේ වනවිට මියගොස් ඇති බවත්, රෝගයට ලක් වුණු 70 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
උණ රෝගය පැතිරය යන්නේ, පෙන්සිල්වේනියා, නිව්ජර්සි සහ ඩෙලවෙයාර් යන ජනපදවලය. පෙන්සිල්වේනියා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයරි, කාර්බන් සහ මොන්රෝ යන ප්‍රාන්තවලින් රෝගීන් හමුවී ඇති බවය.
මෙම උණ රෝගය අශ්වයන්ගෙන් පැතිර යන එකක් යැයි හඳුනා ගෙන ඇත. මනුෂ්‍යයන්ට රෝගය පැතිරෙන්නේ මදුරුවන් හරහා අශ්වයන්ගෙනි. රෝගය වැළඳුණු අශ්වයන් සියයකට වැඩි සංඛ්‍යාවක් මරා දැමීමට අශ්ව ගොවිපොල හිමිකරුවන්ට සිදුවී ඇති බව ද පැවැසෙයි.
රෝගයට ප්‍රතිකර්මයක් නොමැති අතර, රෝගය පිළිබඳ කල් තියා හඳුනා ගැනීමෙන් සංකූලතා මඟහරවා ගැනීමට හැකිවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. රෝගය හැඳින්වෙන්නේ ‘අසුන්ගෙන් බෝවන එන්සෙපලයිටිස්’ යනුවෙනි. වයිරසය ආසාදනයට ලක් වෙද්දී ස්නායු පද්ධතිය අඩපණ කරමින්, මොළයට හානි වෙයි.
‘අසුන්ගෙන් බෝවන එන්සෙපලයිටිස්’ මෙම රෝගය ‘ට්‍රිපල් ඊ’ යනුවෙන් ද හැඳින්වෙයි. මීට පෙර මෙම වයිරස රෝගය වසංගත තත්ත්වයක් බවට පත් වී ඇත්තේ 1950 වසරේය. මදුරු දෂ්ටනයෙන් වැළැකී සිටින ලෙසත්, මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමෙරිකා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
මැසචුසෙට්හිදීය (ඒ.එෆ්.පී.)

