මගී යානයක් අනතුරේ



පේරු මගී ගුවන් යානයක් බොලිවියාවේ එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දී අනතුරට ලක් විය.

යානය ගුවන්තොටුපොළට පහත් කරද්දී එහි එක් පැත්තක රෝද කට්ටලය නිසි ලෙස ක්‍රියාත්මක නොවිණි. එහෙයින්, යානය ධාවන පථයේ ලිස්සා පිටතට විසිවී ගියේය. යානය ලිස්සා යද්දී, එය පාලනය කර ගැනීමටත් තිරිංග තද කරමින් යානය නවත්වා ගැනීමටත් නියමුවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

නියමුවන්ට කෙසේ හෝ යානය පාලනය කර ගැනීමට හැකිවුණු නිසා සිදුවීමට ගිය මහා විනාශයක් වැළැකී ගියේ යැයි එල් ඇල්ටෝ ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එල් ඇල්ටෝ ගුවන් තොටුපොළ පිහිටා ඇත්තේ ලා පාස් අගනුවරට නුදුරින්ය.

සිදුවුණු අනතුරින් යානයේ මගීන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. ඔවුන් මහත් සේ බියට පත්වුණු බව පසුව දැනගන්න ලැබුණි.

ගුවන් සේවිකාවන් දෙදෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. ගුවන් යානයටත් හානි සිදුවිය.

යානය අනතුරට පත්වුණු බව දැනගත් සැණින්, ගුවන්තොටුපොළ ගිනි නිවන හමුදා ට්‍රක් රථ, ගිලන් රථ වහා යානය වෙත පැමිණි පැමිණි අතර, යානයේ මගීන් පිටතට ගැනීම ලහිලහියේ සිදුවිය.

රෝද කට්ටලය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනතුරට පත් වූයේ බෝයිං 737 වර්ගයේ යානයකි. එය එල් ඇල්ටෝ ගුවන්තොටුපොළ වෙත පැමිණියේ පේරු රටේ කුස්කෝ නුවර සිටය. යානයේ මගීන් 122 දෙනකු සිටි අතර සෙසු පිරිස නියමුවන් සහ ගුවන් සේවක සේවිකාවන්ය.

යානයේ රෝදවල දෝෂයක් ඇති බව ගුවන් නියමුවන්ට දැන ගන්න ලැබී ඇත්තේ යානය ධාවන පථයට පහත් කරද්දීය. එහෙයින්, යානය ධාවන පථයේ ලිස්සා යද්දී, නියමුවෝ ද මහත් සේ බියට පත් වූහ.

අනතුරින් පසු, ගුවන්තොටුපොළ පැය කිහිපයකට වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. යානයේ රෝදවල දෝෂය හටගත්තේ කෙසේදැයි යන්න සෙවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පේරු ගුවන් සේවය පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS