භූතාන රජ පවුල ඉන්දියාවේ

භූතානයේ ජිග්මේ නම්ග්යේල් වංග්චුක් රජු පෙරේදා (2) නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
නම්ග්යේල් වංග්චුක් රජු සමඟ බිරිය මෙන්ම වසරක් වයසැති පුත් කුමරුන් ද ඉන්දීය සංචාරයට එක් වී සිටිති.
නවදිල්ලි අගනුවරට පැමිණි භූතාන රජ පවුල ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජය කටයුතු කළේය. භූතාන රජ පවුල ඉන්දියාවට පැමිණියේ සිවු දින සංචාරයක් සඳහාය.
ඉන්දීය සංචාරයේදී කාගේත් වැඩි අවධානය යොමු වූයේ ජිග්මේ නම්ග්යේල් වංග්චුක් රජ කුමරු කෙරෙහිය.
ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ ඇමැති සුෂ්මා ස්වර්ජ් පමණක් නොව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා භූතාන ‘රජ පැටියා’ සුරතල් කිරීමට අමතක නොකළහ.

භූතානය ඉන්දියාවේ මිතුරු රාජ්‍යයක් පමණක් නොව, සාර්ක් කලාපීය ආසියානු රාජ්‍යයක් ද වෙයි.
භූතානය සහ ඉන්දියාව අතර පවතින හොඳහිත තව තවත් වර්ධනය කර ගැනීමට මෙම සංචාරය ඉවහල් වුණැයි භූතාන රජු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ භූතාන රජු අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. රජු, බිසව සහ පුත් කුමරු ඉන්දීය ජනපති හමුවූයේ ඉන්පසුවය.
රජ පවුලට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාව ලැබුණේ සවසය. එම හමුව පැවැත්වූයේ ඉන්දීය අගමැති නිල නිවසේදීය.
ද්වී පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව භූතාන පුංචි කුමරු ඉන්දීය අගමැතිවරයාට හඳුන්වාදීම සිදුවිය. එම හමුව ඇතුළත් වීඩියෝ දසුන් මේ වනවිට අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.
බොහෝ දෙනාගේ අවධානයට එය ලක් වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. රජ කුමරු සුරතල් කරමින් ලෝක පා පන්දු කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ නිල පා පන්දුවක් ද ඔහුට තෑගි කිරීමට ඉන්දීය අගමැතිවරයා කටයුතු කළේය.
(එන්.ඩී.ටීවී./ඒ.එෆ්.පී.)

