බෝයිං ගුවන් යානා දෙකක් අනතුරේ



බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානා දෙකක් රටවල් දෙකකදී ගුවන්ගත වෙද්දී සහ ගොඩබාද්දී අනතුරට ලක් විය. අනතුරු වාර්තා වන්නේ තුර්කියේ සහ සෙනගාලයේදීය. 

පළමුවෙන් අනතුරට ලක්වූයේ බෝයිං 737-300 වර්ගයේ යානයකි. ඒ අප්‍රිකා රාජ්‍යයක් වන සෙනගාලයේදීය. සනගාලයේ ඩකාර් අගනුවර බෙලීස් දියැග්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වෙද්දී ගුවන් පථයෙන් ලිස්සා අනතුර සිදුවිය. 

යානයේ මගීන් 85 දෙනෙකු සහ නියමුවන් දෙදෙනා ද සමඟ කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිවු දෙනෙක් වූහ. අනතුරින් තුවාල ලැබූ ගණන 10 කි. අනතුරට ලක්වූයේ බෝයිං 737-300 වර්ගයේ යානයකි.

මේ අතර, තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්්‍යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් ද අනතුරට පත්විය. යානය අනතුරට පත්වූයේ එය ගුවන් පථයට ගොඩබාද්දී ටයරක් පුපුරා යෑමෙනි.

යානය ජර්මනියේ කොලොන් නගරයේ සිට තුර්කිය බලා ආ ‘කොරෙඩොන්’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. අනතුරින් යානයේ සිටි කිසිවකුටත් හානියක් සිදු නොවිණි.


RECOMMEND POSTS