බොරිස් ජොන්සන් අගමැති සටනින් ඉවතට



බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ද පැවැති සටනින් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉවත් විය. ඒ අනුව, පක්ෂය නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක්ට වැඩි වාසි අත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. 2024 වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු බලයේ සිටීමට ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අවස්ථාව තිබේ.

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී මුදල් ඇමැති (චාන්සලර්) ලෙස කටයුතු කළේ රිෂි සුනාක්ය.
පාර්ලිමේන්තු ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ සහාය සෘජුව හිමිවන්නේ නම් එම අපේක්ෂකයාට පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.

පාර්ලිමේන්තුවේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන් ගණන 357 කි. ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ සියලු සාමාජිකයන් සහ නියෝජිතයන් ගණන 1,70,000 කි. පාර්ලිමේන්තු ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන් එකසිය පනස් දෙදෙනකු ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තම සහාය රිෂී සුනාක්ට දෙන බවය. ඒ අනුව, රිෂී සුනාක්ට පහසුවෙන් ම පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත. එසේ වුවහොත් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකුට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන පළමු අවස්ථාව වනු ඇත්තේ මෙයයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායිකා පෙනී මෝර්ඩෝන්ට් ද පක්ෂ නායකත්ව සටනට එක් වී සිටින අතර ඇයට ලැබී ඇත්තේ මන්ත්‍රීවරුන් 29 දෙනකුගේ සහාය පමණි. හෙට (25) බි්‍රතාන්‍ය වේලාවෙන් දෙකට පෙර, 100 දෙනකුගේ සහාය පෙන්වීමට නොහැකි වුවහොත් මෝර්ඩෝන්ට් ට පක්ෂ නයකත්ව සටනින් ඩවත් වීමට සිදුවෙයි.

පසුගිය සති අන්තයේ බොරිස් ජොන්සන් ද පවසා තිබුණේ තමන්ට ද මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ සහාය හිමිවන බවත්, දෙකඩ වුණු ‘කොන්සවර්ටිව්’ පක්ෂය යළි එක් කිරීමේත්, රටට ශක්තිමත් නායකත්වයක් ලබාදීමේත් අරමුණ ඇතිව තමන් යළි පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරග වදින බවය.

කෙසේ නමුත් පසුව ජොන්සන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන්ට මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණත්, යළි පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරග කිරීමට තමන් ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවය. ඒ අනුව, තමන් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනින් ඉවත් වීමට තීරණය කළේ යැයි ද ජොන්සන් අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වූයේ ලිස් ට්‍රස්, පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු බැවිනි. ලිස් ට්‍රස් ඉල්ලා අස්වූයේ පක්ෂ සාමාජිකයන්ගේ සහාය අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී තමන්ට නොලැබුණු බව පැහැදිලි කරමිනි. ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටියේ දින 45 ක් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS