බි‍්‍රතාන්‍ය අගමැති පුතුට නම් තබයි



බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ සහකාරිය කැරී සිමොන්ඞ්ස් අලූත උපන් ඔවුන්ගේ පුතු, ‘විල්ෆ‍්‍රඞ් ලොව්රී නිකලස් ජොන්සන්’ යනුවෙන් නම් කර ඇත්තේ, ලන්ඩන් නුවර වෛද්‍යවරුන් දෙදෙනකුට ගෞරව කරමිනි.

අගමැති ජොන්සන් සේම, සහකාරිය කැරී සිමොන්ඞ්ස් ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදය වී සිටියහ. කැරීගේ තත්ත්වය බරපතල නොවුණු නමුත් අගමැතිවරයාට රෝහල් ගත වී ප‍්‍රතිකාර ලැබීමට සිදුවිය.

රෝහල්ගතව සිටිද්දී, අගමැති ජොන්සන්ගේ පිහිට පැමිණියේ වෛදය නික් පි‍්‍රන්ස් සහ වෛද්‍ය නික් හාට් යන දෙදෙනාය. මොවුන්ට ගෞරව කිරීමක් ලෙස පුතුට නිකලස් යන නම යෙදීමට තමන් කටයුතු කළ බව අගමැතිවරයා සහ සහකාරිය කැරී සිමොන්ඞ්ස් පවසා ඇත.

අගමැති ජොන්සන් සහ කැරී සිමොන්ඞ්ස් විවාහ ගිවිස ගැනීම පසුගිය වසරේ සිදුවිය. විවාහ මංගල උත්සවය මෙම වසරේ පැවැත්වීමට දෙදෙනා තීරණය කර තිබේ. අගමැති ජොන්සන්ගේ වයස අවුරුදු 55 කි. කැරී සිමොන්ඞ්ස්ගේ වයස අවුරුදු 32 කි.

අගමැති ජොන්සන් දෙවරක් විවාහ වූ අයෙකු වන අතර ඔහුට දරු දැරියෝ පස් දෙනෙක් ද සිටිති.

අලූත උපන් පුතුට විල්ෆ‍්‍රඞ් යන නම යොදා ඇත්තේ අගමැති බොරිස් ජොන්සන්ගේ සීයා සිහිපත් කරමින් බවත්, ලොව්රී යන යොදා ඇත්තේ තමන්ගේ සීයා සිහිපත් කරමින් බවත් කැරී සිමොන්ඞ්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS