බිලියන 13 ක් පැරැණි ඡායාරූපය



වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මන්දාකිණි නිර්මාණය වූ අයුරු සහ මන්දාකිණි පිහිටීම දැක්වෙන ඡායාරූපයක් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකාවේ නාසා ආයතනය පියවර ගෙන තිබේ.

මෙම අපූරු ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කෙරුණේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙන් ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

අතීතයට නෙත් යොමු කරමින්, වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මන්දාකිණි පිහිටීම සහ මන්දාකිණි නිර්මාණය වූ ආකාරය දැක්වෙන වර්ණවත් ඡායාරූපයක් සකස් කිරීමට නාසා ආයතනය සමත්වීම ඓතිඑාසික සිදුවීමකි.

විශ්වය පිළිබඳ අපගේ දැනුම තවත් පුළුල් කිරීමටත් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමටත් මෙම ඡායාරූප තාරකා විද්‍යාඥයන්ට උපකාරී වනු ඇතැයි මාධ්‍ය හමුවේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කළේය.

මාධ්‍ය හමුවට, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් සහ නාසා ආයතනයේ ප්‍රධානීහු කිහිප දෙනෙක් ද එක් වී සිටියහ. ඇමෙරිකානු ජාතික අභ්‍යවකාශ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කමලා හැරිස්ය.

නාසා ආයතනය වසර බිලියන 13 ක් පැරැණි විශ්වසේ දසුන් ඡායාරූපයට නැගුවේ, ‘ජේම්ස් වෙබ්’ නමැති අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති අභ්‍යවශ දුරේක්ෂය ආධාරයෙනි.

ජේම්ස් වෙබ්’ අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් යැයි නාසා ආයතනය පවසයි. දුරේක්ෂය නිපදවීමට වසර 24 ක් ගත විය.

දුරේක්ෂය අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම කළේ 2021 වසරේදීය. දුරේක්ෂය නිපදවීමට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කට වැඩි යැයි පැවැසෙයි.

පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රඳවා ඇති දුරේක්ෂය, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරයි. ආලෝකය ගමන් කරන්නේ තත්ත්පරයට සැතපුම් 1,86,000 ක වේගයකිනි. තවමත් අවුරුදු බිලියන ගණනක් පැරැණි ආලෝක අංශ විශ්වයේ ගමන් කරමින් තිබේ.

දර්පන රැසකින් සමන්විත ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය මෙම ආලෝකය හසු කර ගනී. අවුරුදු බිලියන ගණනකට පෙර මන්දාකිණි පිහිටීමක් සහ මන්දාකිණි නිර්මාණයක් ඡායාරූපයට නැගීම ඒ අනුව සිදුවිය.

නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂක නිපදවීමට ‘යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය’ සහ ‘කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය’ ද සිය දායකත්වය ලබා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS