බැංකොක් නුවර බෝම්බ පිපිරීම් 3 ක්



තායිලන්තයේ බැංකොක් අගනුවර ස්ථාන තුනක බෝම්බ පිපිරීම් තුනක් සිදුවීමෙන්, දෙදෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඒවා නිවසේ ඇති අමුද්‍රව්‍ය යොදා ගනිමින් තැනූ ප්‍රබලත්වයෙන් අඩු බෝම්බ බව පොලිසිය පවසා ඇත. මේ වනවිට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත් වී ඇත.

බෝම්බ මාර්ග අවට කසල බදුන්වල තිබී පුපුරා ගොස් ඇත. තුවාල ලැබුවේ මාර්ග පිරිසුදු කරන සේවිකාවන් දෙදෙනෙකි. කඩිනමින් රෝහල්ගත කළ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි.

බෝම්බ පුපුරා ගියේ ‘ආසියාන්’ හවුලට සම්බන්ධ රටවල විදෙස් ඇමැතිවරුන්ගේ හමුවක් බැංකොක් අගනුවර පැවැත්වෙද්දීය. මෙම සමුළුව පැවැත්වෙන්නේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙනි.

‘ආසියාන්’ යනු අග්නිදිග ආසියානු රටවල එකමුතුවයි. ඊට අමතරව,  ඇමෙරිකා, චීන සහ රුසියාව නියෝජනය කරමින් නියෝජිතයෝ ද සමුළුවට සහභාගී වෙති. බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පවත්වන්නැයි අගමැති ප්‍රයාත් චාන් ඕචා නියෝග කර ඇත. බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති බව ද වාර්තා වේ.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS