බ්‍රෙක්සිට් අර්බුදයට තවමත් විසඳුමක් නැහැ



මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ ක්‍රියාවලියට අදාල වෙළෙ‍ඳ සාකච්ඡා අර්බුදයට ලක් වී ඇතැයි වාර්තා වේ.

‘බ්‍රෙක්සිට්’ ක්‍රියාවලිය එලැඹෙන දෙසැම්බර් 31 වැනිදාට පෙර සම්පූර්ණ කර ගැනීම කළ යුතුව ඇත. කෙසේ නමුත්, හටගෙන ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට නොහැකි වුවහොත්, මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර, කිසිදු එකඟතාවකින් තොරව ‘බ්‍රෙක්සිට්’ ක්‍රියාවලිය සිදුවුනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ධීවර කටයුතු සම්බන්ධයෙනි.

අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් සිටී. යුරෝපා සංගමයේ මූලස්ථානය ඇත්තේ බ්‍රසල්ස් නුවරය.

අර්බුදය සම්බන්ධයෙන් අගමැති ජොන්සන් සහ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් අතර මිනිත්තු 30 ක සාකච්ඡාවක් සූදානමින් පැවැතුණු නමුත්, එම සාකච්ඡා පැය 3 ක් පුරාවට පැවැත්විණි. ඒ, බ්‍රිතාන්‍යයට ඔබ්බෙන්, මුහුදු සීමාවේ ධීවර කටයුතු සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසිවලට අගමැති ජොන්සන් අකමැත්ත පළ කළ නිසාය. පැය 3 ක් තිස්සේ පැවැති සාකච්ඡා පවා අසාර්ථකව අවසන් වූ බව පැවැසෙයි.

යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි. ඊට ඇතුළත් වූයේ මුහුදු කෑම (සී ෆූඩ්) වර්ගය. ධීවර කටයුතු සම්බන්ධයෙන් පවතින මතභේද සැලකිල්ලට ගනිමින්, යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ‘අතුල් ප්‍රහාරයක්’ එල්ල කිරීමට මේ අයුරින් මුහුදු කෑම සංග්‍රහ කළේ යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

බ්‍රසල්ස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS