බ්‍රිතාන්‍යයෙන් සුබ පතුම්
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රින් වෙස්ට් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ඇති හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජය සමග කටයුතු කිරීමට එක්සත් රාජධානි රජය සූදානම් බවද වෙස්ට් මහත්මිය පැවැසුවාය.
එසේම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර දිගු කාලීන මිත්‍රත්වයක් මෙන්ම සමීප ආර්ථික සබඳතාවක් තිබෙන බවද පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා එම සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසුවේය.