බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියාව



දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉන්දියාවට පැමිණි අතර, ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැමිණියේ, ගුජරාඨ ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයටය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රිය පෙරහරින් අහ්මදාබාද් නුවර ගමන් කරද්දී, ඉන්දීය වැසියන් සහ පාසල් දරු දැරියෝ බ්‍රිතාන්‍ය ධජ අතැතිව මඟ දෙපස සිට ප්‍රීති ඝෝෂා කරන්න වූ අතර නර්තන අංග පවා ඉදිරිපත් කළහ.

අහ්මදාබාද් නුවර සබර්මතී ගාන්ධි ආශ්‍රමය නැරැඹීමට ගිය අවස්ථාවේදී, මහත්මා ගාන්ධිතුමන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් අමතක නොකළේය. මෙම අවස්ථාවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද එක් වී සිටියේය.

ගාන්ධි ආශ්‍රමය නැරැඹීමෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගෞතම් අදානී හමුවී ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වීය.

එම හමුවෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වදෝදරා බලා ගුවන් ගමනකට එක් විය. ඒ, ‘ජේ.සී.බී.’ බර යන්ත්‍ර නිෂ්පාදන කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වෙමිනි. කම්හලේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් ගුජරාට ජාත්‍යන්තර ආර්ථික තාක්ෂණ සම්මන්ත්‍රණයට සහභාගී විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS