බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරය එපා කියයි



බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ විසින් පත් කරනු ලැබූ නව සෞඛ්‍ය ඇමැති නෙල්සන් ටෙක්, මාසයක් ගතවීමටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

නෙල්සන් ටෙක් බ්‍රසීල සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කෙරුණේ, එම ධුරයේ කටයුතු කළ ලුවිස් හෙන්රීක් මැන්ඩෙටා පසුගිය මැයි 15 වැනිදා එයින් ඉවත් වීමත් සමඟය.

මැන්ඩෙටා ධුරයෙන් ඉවත් වූයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු බ්‍රසිල ජනතාවට ලබා දුන් උපදෙස් ජනාධිපති බොල්සරානෝගේ විරෝධයට හේතුවක් වීම නිසාය. ජනපති බොල්සරානෝ සහ මැන්ඩෙටා අතර සති ගණනක් තිස්සේ ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතිණි. අද වනවිට බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ වයිරසය ඉහවහා ගොස් අවසන්ය.

මැන්ඩෙටා වයිරසයේ බිහිසුණු බව ජනතාවට දැනුම් දෙමින් අනතුරු ඇඟවීම් කළ අතර, රට ලොක්ඩවුන් නොකර දෛනික කටයුතු නොකඩවා සිදු කිරීමට ජනපති බොල්සරානෝ අණ කළේය. ජනතාව මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය යැයි මැන්ඩෙටා පැවැසූ අතර ජනපති බොල්සරානෝ ඊට විරෝධය දැක්වීය.

අවසානයේ මත ගැටුම් උත්සන්න වූ අතර මැන්ඩෙටා ධුරයෙන් ඉවත් විය. ජනපති බොල්සරානෝ නෙල්සන් ටෙක්, සෞඛ්‍ය ඇමැති ලෙස පත් කළේ ඉන්පසුවය. නෙල්සන් ටෙක් ඉල්ලා අස්වන්නේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

බ්‍රසීල මාධ්‍ය සැක කරන්නේ ඔහු සහ ජනාධිපති බොල්සරානෝ අතරේ ද ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් මත ගැටුම් හටගන්න ඇති බවය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS