බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ වැටිලා



බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සරානෝ හදිසියේ ඇද වැටුණු බවත් ඔහු කඩිනමින් රෝහල් ගත කළ බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.

හිටිහැටියේ ඇද වැටුණු ජනාධිපතිවරයාට තුවාල සිදුවී ඇති බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 64 හැවිරිදි බොල්සරානෝ, ඇද වැටී ඇත්තේ ඇල්වොරදා ජනාධිපති මන්දිරයේ සිටිද්දීය.

කඩිනමින් රෝහල්ගත කිරීමෙන් පසු ජනාධිපතිවරයා සීටී ස්කෑන් පරීක්ෂණයකට ද ලක් කෙරුණි. ඉන්පසු පැය 12 ක් රෝහලට වී වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිටීමට ද ජනපතිවරයාට සිදුවුණු බව පැවැසෙයි.

ජනාධිපති බොල්සරානෝ පසුගිය කාලයේ වැඩි දිනක් ගත කළේ රෝහල්වලය. ජනාධිපතිවරයා සැත්කම් කීපයකට භාජන විය. ඒ, ජනපති අපේක්ෂකයකු ලෙස මැතිවරණ රැලියකට එක් වී සිටිද්දී, උදරයට එල්ල වූ පිහි ප්‍රහාරයක් හේතුවෙනි.  එම අවස්ථාවේදී වෛද්‍යවරුන්ට බොල්සරානෝගේ බඩවැල්වලින් කොටසක් ඉවත් කිරීමට සිදුවිය. සැත්කම් කීපයකට ජනාධිපතිවරයා භාජන වූයේ ඉන්පසුවය.

ඊට අමතරව මීට සති කීපයකට පෙර, බොල්සරානෝ රෝහල් ගත කෙරුණි. ඒ, සමේ පිළිකා තත්ත්වයක් හට ගැනීම නිසා යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ළැව් ගිනිවලින් වැනසී යද්දී බොහෝ දෙනාගේ විරෝධය එල්ල වූයේ ද ජනාධිපති බොල්සරානෝටය. ඒ, වනාන්තරය හෙළි පෙහෙළි කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර දීම සම්බන්ධයෙනි.

බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS