බ්‍රසීල ජනපතිට කැස්ස

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගැන කිසිදු තැකීමක් නොකරන බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කැස්සක් ඇති බවත්, ඔහුට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතිදැයි සැකයක් පවතින බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කළේය.
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනුගමනය කරන්නෙකි. ට්‍රම්ප් මෙන්ම ‘කොවිඞ් 19’ වයිරසය අවතක්සේරු කළ නායකයකු ලෙස බ්‍රසීල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල දෝෂදර්ශණයට බොල්සරානෝ ලක් වී සිටී.
බ්‍රසීල සෞඛ්‍ය අංශ දිගින් දිගටම රට ලොක්ඩවුන් කරන්නැයි ජනපති බොල්සරානෝට උපදෙස් දුන් අතර, මුහුණු ආවරණ පලඳින්නැයි ජනතාවට දැනුම් දුන්නේය. ජනපති බොල්සරානෝ දිගින් දිගටම පවසා ඇත්තේ රට ලොක්ඩවුන් කිරීමෙන් ආර්ථිකය කඩා වැටෙනු ඇති බවත් ඊට ඉඩ දිය නොහැකි බවත්ය.
මේ වනවිට බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ඉල්ලා අස්වී ඇත. ඒ, ඔවුන් ජනතාව ආරක්ෂා කර ගැනීමට උපදෙස් දෙද්දී ජනපති බොල්සරානෝ ඊට විරෝධය දැක්වීමත් සමඟ හටගත් මත ගැටුම් නිසාය.
බ්‍රසීලය වහා ලොක්ඩවුන් කළ යුතු බව පෙන්වා දෙමින් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් විරෝධතා පවත්වද්දී, ජනපති බොල්සරානෝ සහ ඔහුගේ දක්ෂිණාංශික දේශපාලන ක්‍රියාකාරීහු ද වෙනම විරෝධතා රැලි පැවැත්වූහ. ඒ, රට ලොක්ඩවුන් කරන්න එපා යැයි කියමිනි.
එසේ පැවැති විරෝධතා රැලියකට බොල්සරානෝ ද සහභාගී විය. ඔහු ඔහුගේ ආධාරකරුවන් අසලට වී සිටියේ කැස්සක් ද සමඟය. එම රැලියට සහභාගී වුණු කිසිවකු මුහුණු ආවරණ පැලඳ සිටියේ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළේ හෝ නැති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
ඉතාලිය සහ ස්පාඤ්ඤය පසු කරමින් ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ මරණ සංඛයාව 1,60,000 පසු කර තිබේ. ගතවුණු පැය 24 ඇතුළත ආසාදිතයන් 7,938 ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,42,000 පසු කර තිබේ.
වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇතැයි පැවැසෙන්නේ සාඕ පාවුලෝ නගරයටය. සාඕපාවුලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, රෝහල් සියල්ල අතුරුසිදුරු නොමැතිව පිරී ගොස් ඇති බවත් වාර්තා වේ.
සාඕපාවුලෝහිදීය (රොයිටර්)

