බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක්?



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති සූදානම් වෙයි.

බලතල අවභාවිත කිරීමේ චෝදනා, දූෂණ චෝදනා සහ ඇමෙරිකන් ජනතාව මුලා කිරීමේ චෝදනා ජනාධිපති බයිඩන්ට එල්ල කරන බව තමන් සූදානමින් සිටින බවත්, දෝෂාභියෝගය සකස් කරන්නේ එම චෝදනා අනුව බවත් රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන්, නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද මැකාර්ති උපදෙස් ලබා දී ඇත.

බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ඔහුගේ පුතා හන්ටර් බයිඩන් සම්බන්ධයෙනි. හන්ටර් බයිඩන්, ව්‍යාපාරිකයෙකි. ඔබාමා පරිපාලනය සමයේ ජෝ බයිඩන්, ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවීය. එම කාලයේ, හන්ටර් බයිඩන් යුක්රේනය සමඟ සිදු කළ ගනුදෙනු ආන්දෝලනයකට හේතුවක් විය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ එම ගනුදෙනු මුල්කොට ගනිමිනි.

ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් මෙන්ම සෙනෙට් මණ්ඩලයකින් සමන්විත අතර, පසුගිය ජනවාරියේ සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය.


RECOMMEND POSTS