බයිඩන් වියට්නාමයේ



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමය බලා ගියේය.

‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් හැනොයි අගනුවරට පැමිණි ඇමෙරිකන් ජනාධිපතිවරයාට වියට්නාම කොමියුනිසිට් පක්ෂ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

වියට්නාම කොමියුනිසිට් මහ ලේකම් මෙන්ම, එරට ජනාධිපතිවරයා ද වන 79 හැවිරිදි න්ගුවෙන් පූ ත්‍රොන්ග් සහ 80 හැවිරිදි ජෝ බයිඩන් අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

ජනාධිපති බයිඩන් හැනොයි බලා ගියේ ඇමෙරිකන් රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. අංශ ගණනාවක් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ වියට්නාම කොමියුනිසිට් පක්ෂය අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඇමෙරිකාව සහ වියට්නාමය අතර මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. චීනය සහ රුසියාව වියට්නාමයේ සමීපතම මිතුරන්ය. මේ වනවිට ඇමෙරිකාව ද චීනය සහ රුසියාව සේම තම සමීපතම මිතුරකු වී ඇතැයි වියට්නාම කොමියුනිස්ට් පක්ෂය පවසා ඇත.

ලොව සියලු බලගතු රාජ්‍යයන් සමඟ සුහඳශීලීව කටයුතු කිරීමට සූදානම් යැයි වියට්නාම කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දී තිබේ. මේ අතර චීන රජය පවසා ඇත්තේ, ඉදිරි දින කීපයේ චීන ජනාධිති ෂී ජින්පින් වියට්නාමයේ සංචාරයක නියැලෙනු ඇති බවය.


RECOMMEND POSTS