බයිඩන් දකුණු කොරියාවට

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේය.
නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.
ඊට අමතරව, ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කළ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වනු ඇත.
දකුණු කොරියාව, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයක් වන අතර, ඇමෙරිකන් හමුදා කඳවුරු පවා දකුණු කොරියාවේ පිහිටුවා ඇත. යූන් සුක් සෝල් පමණක් නොව, ඔහුට පෙර ජනාධිපති ධුරයේ සිටි ජනාධිපති මූන් ජේ ඉන් ද ඇමෙරිකා හිතවාදියෙකි.
බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ද ජනාධිපති මූන් ජේ ඉන්ගේ සහාය ඇතිවය.
ට්‍රම්ප් මැදිහත් වී, කිම් ජොන් උන් සමඟ පැවැත් වූ සාම කතා තවදුරටත් පවත්වාගෙන යෑමට බයිඩන් පරිපාලනය උනන්දු වෙයි. කෙසේ නමුත් නායක කිම් ජොන් උන් හෝ උතුරු කොරියානු රජය ඒ ගැන උන්න්දුවක් දක්වා නැත.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වූ දා සිට මේ දක්වා උතුරු කොරියාව, දකුණු කොරියාවට, ජපානයට සහ කලාපීය රටවලට තර්ජනයක් වන අයුරින්, දිගු දුර මිසයිල අත්හදා බැලීම් කළේය. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, දකුණු කොරියාවට පැමිණෙද්දී ද න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට උතුරු කොරියාව සූදානමින් සිටියේ යැයි විදෙස් මාධ්‍ය පවසා තිබුණි.
දකුණු කොරියානු සංචාරයෙන් අනතුරුව බයිඩන්, ජපානයට යෑමට නියමිතය.
ඒ අතරතුරේ, සාමාජික රටවල් වන ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඇමෙරිකාව සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘සිවුදෙනාගේ කණ්ඩායම’ හෙවත් ‘ක්වඩ්’ කණ්ඩායමේ සමුළුවට ද බයිඩන් සහභාගී වනු ඇති බව ධවල මන්දිර නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)

