බයිඩන් ජනාධිපති: ට්රම්ප් පිළිගනී

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ප්රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් පිළිගන්නා බව, ධුරයේ රැඳී සිටින රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පැවැසුවේය.
බයිඩන්ට බලය පවරාදීම සාමකාමීව සිදු කිරීමට තමන් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොකරන බවත් ට්රම්ප් ප්රතිඥා දෙමින් පැවැසුවේය.
තමන්ට සහාය දක්වමින්, වොෂින්ටන් අගනුවරට රැස්වුණු විරෝධතාකරුවන්ට ස්තුති කිරීමට ට්රම්ප් පියවර ගත් නමුත්, කැපිටල් හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අප්රසාදය පළ කළේය.
ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. පසුගිය 6 වැනිදා, කොංග්රස් මණ්ඩලය රැස්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයෙන්, ජෝ බයිඩන් ජනාධිපති ලෙසත්, කමලා හැරිස් උප ජනාධිපති ලෙසත් පත්වීම සනාථ කිරීමටය.
ට්රම්ප් හිතවාදී විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වූයේ මෙම කොංග්රස් මණ්ඩල සැසියටය. ඒ අනුව සැසිය කල් දැමුණු නමුත් පසුව ඡන්ද විමසුමක් පවත්වා ජෝ බයිඩන්ගේත්, කමලා හැරිස්ගේත් ජය තහවුරු කෙරුණි.
ජනාධිපති ට්රම්ප්ට සහාය දක්වමින්, වොෂින්ටන් අගනුවර රැස්වුණු දහස් ගණනක් විරෝධතාකරුවන් සුදු අන්තවාදීන් බව පැවැසෙයි. පොලිසිය සමඟ පැවැති දරුණු ගැටුම් හේතුවෙන් එක් කාන්තාවක් ද ඇතුළු විරෝධතාකරුවන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිස් අත්අඩංගුවට පත්වුණු ගණන 78 කි.
(ඒ.එෆ්.පී.)

