බයිඩන් කොරෝනාට එරෙහිව සටන අරඹයි



ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි සටන ආරම්භ කරමින්, සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කොරෝනා කාර්ය සාධක බලකායක් පිහිටුවීය.

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත්, පළමු දිනයේ පටන්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන බව ජෝ බයිඩන්ගේ ඡන්ද පොරොන්දුවකි.

ජෝ බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත්වුවත්, ඔහු එම ධුරයේ දිවුරුම් දී වැඩ බාර ගන්නේ ලබන 2021 වසරේ ජනවාරි මාසයේය. එසේ වුවත්, බයිඩන් විසින් පිහිටුවූ කොරෝනා කාර්ය සාධක බලකායට ඔවුන්ගේ ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබේ.

කාර්ය සාධක බලකාය පිහිටුවූ බව මාධ්‍ය හමුවක් මගින් නිවේදනය කරමින් මුහුණු ආවරණ පලඳින්නැයි බයිඩන් ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

ජෝ බයිඩන් විසින් පත් කළ එම කාර්ය සාධක බලකායට ඇමෙරිකන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයන් 12 දෙනකු ඇතුළත් බව පැවැසෙයි. හිටපු ශල්‍ය වෛද්‍ය විවේක් මූර්ති සහ ඇමෙරිකා  ආහාර සහ ඖෂධ අධිකාරියේ හිටපු කොමසාරිස්වරයකු වන වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් ඒ අතර සිටිති.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS