බය නැති ජනපති සෙලන්ස්කී



යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියන් හමුදාව අවස්ථා තුනකදී තමන් ඝාතනය කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බවත්, තවමත් තමන් යහතින් සිටින බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

බටහිර මාධ්‍ය මේ වනවිට 44 හැවිරිදි සෙලෙස්කී වීරයකු බවට පත් කර අවසන්ය. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැතිව, යුක්රේන ජනාධිපති ධුරයට පත්වුණු සෙලෙන්ස්කී ප්‍රහසන රංගන ශිල්පියෙකි. ඔහුට ජනාධිපති ධුරය හිමිවූයේ ඔහු ප්‍රහසන නළුවකු ලෙස ලැබූ ජනප්‍රියත්වය නිසාය.

මීට වසර 4 කට පමණ පෙර 'ජනතා සේවකයා' නමැති යුක්රේන ප්‍රහසන ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ සෙලෙන්ස්කීය. ඒ, යුක්රේන ජනාධිපති ධුරයට පත් වන ගුරුවරයකු ලෙසය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියනව් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුමක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් හමුදාවේ පළමු ඉලක්කය තමන් බවත් දෙවැනි ඉලක්කය තම බිරිඳ සහ දරු දෙදෙනා බවත් ජනාධිපති සෙලෙන්ස්කී පවසා තිබේ.

සෙලෙස්කිට අවුරුදු 17 ක දියණියක සහ අවුරුදු 9 ක පුතෙකු සිටී. පසුගිය 8 වැනිදා සෙලෙස්කී යළිත් වරක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කළේය. තමන් කීව් අගනුවර සිටින බවත්, තමන් සැඟවී නැති බවත් ජනාධිපතිවරයා පැවැසුවේ රුසියානුවන්ටය.

තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හෝ රුසියන් හමුදාවට හෝ බියක් නොමැති බවත් තමන් සිටින්නේ කීව් අගනුවර බැංකෝවා වීදියේ බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝ පණිවුඩයේ දැක්විණි. තමන් රට බේරා ගැනීම වෙනුවෙන් ඕනෑම මොහොතක දිවි පිදීමට පවා පසුබට නොවන බව ද සෙලෙන්ස්කී එම අවස්ථාවේදී අවධාරණය කළේය.

ජනාධිපති සෙලෙන්ස්කීගේ සෙවනැල්ල ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන 44 හැවිරිදි ඔලේනා ව්ලොදිමිරිව්නා සෙලෙන්ස්කා ය.

ඇය තිර පිටපත් රචිකාවියකි. ඔලේනා, සැමියා සෙලෙන්ස්කි සමඟ දේශපාලන කටයුතුවලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ තැනැත්තියක නොවෙයි. ඇයට ද දේශපාලනය ගැන අත්දැකීමක් නැත. කෙසේ නමුත් අද රුසියන් ආක්‍රමණය හමුවේ ඇය ද ඇගේ ජනාධිපති සැමියා සේම යුක්රේන ජනතාවට බලාපොරොත්තුවේ ප්‍රාර්ථනා තාරකාවක් බවට පත් වී සිටින්නීය. 'මා කලබල නෑ. මා අඬන්නෙත් නෑ. මා බොහොම සන්සුන්. මා මැරෙන්න බය නෑ" ඇය කියයි. 

රුසියන් හමුදා යුක්රේනයට කඩා වැදී පහර දෙද්දී, ඇමෙරිකාව ජනාධිපති සෙලෙන්ස්කී සහ පවුලේ අය විදේශයකට රැගෙන යෑමට ඉදිරිපත් විය. එහෙත්, ජනාධිපති සෙලෙන්ස්කී එය තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘යුද්ධය තියෙන්නේ වෙන රටක නොවෙයි, මෙතැනයි. මා යුක්රේනය දමා කොහෙවත් යන්නේ නැහැ’ යනුවෙනි.

(බීබීසී)


RECOMMEND POSTS