බබා එක්ක ජගත් සමුළුවේ



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා අර්ඩර්න් ද සහභාගී වෙයි. ඒ, ඇගේ අලූත උපන් සිඟිති දියණිය නේව් ටේ අරෝහා ද සමඟය.

මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය. ඊයේ (24) නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව’ පැවැත්වුණු අතර, එම සාම සමුළුවේදී නවසීලන්ත ඇගමැතිවරියට දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණි. මෙය නවසීලන්ත අගමැතිවරිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වී දේශනයක් පවත්වන පළමු අවස්ථාව විය.

37 හැවිරිදි නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා, මවු පදිවියට පත් වූයේ පසුගිය ජූනි මාසයේය. අලූත උපන් බිලිඳියට මවු කිරි දීමට සිදුවන බැවින්, මහා මණ්ඩල සැසියට සහභාගී නොවීමට අගමැතිනිය තීරණය කර තිබුණු නමුත්, මංගල දේශනය පැවැත්වීමට යෙදුණු හෙයින් ඇය නිව්යෝක් බලා පැමිණියේ බිලිඳිය සහ සහකරු ක්ලාක් ගේෆර්ඞ් ද සමඟය. අගමැතිනී ජැසෙන්ඩා විවාහක කාන්තාවක නොවෙයි. ඇය සහ ක්ලාක් එකට ජීවත් වෙති.

ඊයේ දිනයේ අගමැතිනී ජැසෙන්ඩා සිය මංගල දේශනය නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවට ඉදිරිපත් කළාය. ඇය දේශනය ඉදිරිපත් කරද්දී, සහකරු ක්ලාක් ගේෆර්ඞ්, බිලිඳිය වඩාගෙන අසුන් ගෙන දේශනයට කන් දුන්නේය.

‘නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව’ යනුවෙන් සමුළුවක් පැවැත්විණි. නවසීලන්ත අගමැතිනිය සිය දේශනය පැවැත්වූයේ එහිදීය. දකුණු අපි‍්‍රකාවේ අසහාය නායක නෙල්සන් මැන්ඩෙලා වර්ණනා කරමින්, නවසීලන්ත අගමැතිනිය කියා සිටියේ නවසීලන්තයට විශාල පන්නරයක් නෙල්සන් මැන්ඩෙලාගෙන් ලැබුණු බවය.

ජූනි මාසයේ දරු ප‍්‍රසූතියෙන් පසු අගමැතිනී ජැසෙන්ඩා සති 6 ක් නිල රාජකාරිවලින් ඈත් වී, දියණිය වෙනුවෙන් කැපවුණාය. සති 6 කින් පසු යළි රාජකාරියට පැමිණි අතර දියණිය බලා ගැනීමේ වගකීම බාර ගැනීම සහකරු ක්ලාක් විසින් බාර ගත් බව වාර්තා විය. 

තමා සමඟ තම සහකරු මහා මණ්ඩල සැසියට සහභාගී වන්නේ තමාගේ පෞද්ගලික වියදමින් බවත්, තමා තම සහකරු ක්ලාක් ගේෆර්ඞ් කැටුව යන්නේ සිඟිති දියණිය බලා ගැනීමට බවත් ඇමෙරිකාව බලා පිටත්වීමට පෙර අගමැතිනී ජැසෙන්ඩා නවසීලන්ත මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS